චීන දුම්වැටි ගැන රාජිතගෙන් අගමැතිට පැමිණිල්ලක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලනය කිරිම සදහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබිය දි චීනයෙන් දුම්වැටි ආනයනය කිරිම සදහා බලපත්‍ර ලබාදීමට මුදල් අමාත්‍යාංශය ගෙන ඇති තීරණය වහාම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබේ.

චීනයෙන් දුම්වැටි ආනයනය කළහොත් දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය ද ඉවත්වීමට තීරණය කර ඇත. ඒ පිළිබදව අධ්‍යක්ෂ මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කර තිබේ. කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා මේ පිළිබදව නොදන්නා බවත්, කඩිනමින් අවධානය යොමු කරන ලෙසත්, සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී ඇත.

මුදල් අමාත්‍යාංශය මගින් චීන දුම්වැටි ආනයනය කිරිම සදහා අවසර ලබාදුනහොත් තමා අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කරන ලදි. ශ්‍රී ලංකාවේ වෙසෙන 6000 ක් පමණ වන ලියාපදිංචි චීන කම්කරුවන් වෙනුවෙන් එම දුම්වැටි ආනයනය කරන අතර, ඒ සදහා ආනයන බලපත්‍රය ලබාදීමට නියමිතව ඇත්තේ මත්පැන් නිෂ්පාදකයෙකුට බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ ප්‍රඥප්තියේ ඇතුලත් කරුණු 22 න් 20 ක්ම සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කර ඇත. චීන දුම්වැටි ආනයනය කිරිම එම වැඩපිළිවෙල ආපසු හැරවීමකි. දුම්වැටි පාලනය කිරිම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්වැටි විරෝධී සම්මානය ශ්‍රී ලංකාවට අවස්ථා 03 ක දි ලැබී ඇත.

සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ තමන් සිටින තුරු චිනයෙන් දුම්වැටි ආනයනය කිරීමට ඉඩ ලබා නොදෙන බවත්, එය 2015 ලබාදුන් පොරොන්දු කඩ කිරිමක් බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *