ඉදිරියේදී තොරතුරු තාක්ෂණය මෙරට අපනයන ආර්ථිකයේ ප්‍රමුඛස්ථානයට

(කොළඹ, ලංකාපුවත්) – තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඉදිරි වසර 10 ක කාලයක දී ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ ප්‍රමුඛස්ථානයට පත් වන බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන ඇමැති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

මේ වන විටත් මෙරට අපනයන ක්ෂේත්‍රයේ හතරවැනි ස්ථානය දරමින් ජාතික ආර්ථිකයට දායකත්වය දක්වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළින් 2022 වන විට අමෙරිකානු ඩොලර් මිලියන 5000 ක අපනයන ආර්ථිකයක් බලාපොරොත්තු වන බව ද හෙතෙම ප්‍රකාශ කෙළේය.

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ නිල පුවත්පත වශයෙන් ස්මාර්ට් ශ්‍රී ලංකා පුවත්පත එළි දැක්වීම නිමිත්තෙන් ලේකහවුස් ආයතනයේදී පැවැති උත්සවයකදී ඒ මහතා ඊයේ (26) මේ බව ප්‍රකාශ කෙළේය.

මේ වන විටත් අමෙරිකානු ඩොලර් මිලියන 1200 ක ආදායමක් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පාදක කර ගනිමින් ජිවිකාව ගෙන යන පිරිස් විසින් සෘජුව මෙරටට ලබා දෙන බවත් පැවැසීය.

මේ පිරිස් සංවිධාන වී උපයන අදායම අපේ රටේ නියම ආදායම ලෙස ලබා ගන්නට උත්සහ කළ යුතු බවත් ඒ සඳහා එම ක්ෂේත්‍රයේ ව්‍යවසායකියන් ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඒ මහතා පැවසීය.

තොරතුරු තාක්ෂණය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය කරන සයිබර් ආරක්ෂණ හා තොරතුරු ආරක්ෂණ නීති සකස් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරෙන බව පැවසු ඇමැතිවරයා, පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමට එය බෙහෙවින් ඉවහල් වෙනු ඇති බවත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *