ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතුවලට බලපෑමක් ආවේ නැහැ – යුද හමුදාපති

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ දක්වා ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ ඇමතිවරයෙකු පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් බලපෑම් කර නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ (26) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත් කළ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා මෙසේද පැවසීය.

“අප්‍රේල් 21 සිදුවීමෙන් පසුව යුද හමුදාව පැහැදිළිව ආරක්ෂක කටයුතුවල යෙදී සිටියා. අප්‍රේල් මස 26 වැනි දින නිෂාන් අහමඩ් නැමැත්තා අත්අඩංගුවට ගත්තා. ඒ අවස්ථාවේ රිෂාඩ් බද්යුදීන් ඇමැතිතුමා දුරකතන ඇමතුමක් දුන්නා. එතුමා ඇහුවා මේ පුද්ගලයා අත්අඩංගුවට ගත්තද කියලා. මම සොයා බලා දැනුවත් කරන්නම් කිව්වා. පසුව මම යුද හමුදා බුද්ධි අංශවලින් මේ පිළිබඳ විමසුවා. ඔවුන් තහවුරු කළා එවැනි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව. පසුව මම අමාත්‍යවරයාට ඒ බව කිව්වා. ඒ වගේම කිව්වා ඔබතුමා මට මේ කෝල් එක දෙන්න ඕනා තව අවුරුදු එක හමාරකට පස්සේ කියලා. ඒක සුහද සාකච්ඡාවක්. මම එතනදී අදහස් කළේ ඒ තියන බලතල අනුව ඕනෑම අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පැය 24ක් ඇතුළත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දිය යුතුයි. මම දන්නවා ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ පරීක්ෂණ සඳහා ඔහු ඊට පස්සේ වසර එක හමාරක් දක්වා වුණත් රඳවාගන්න හැකියාවක් තිබෙනවා. ඒකයි එහෙම කිව්වේ. නමුත් කිසිම වෙලාවක කිසිම බලකිරීමක් සිදු කරේ නැහැ. කිසිම අවස්ථාවක කිසිම දේශපාලඥයෙක් රජයේ සේවකයෙක් බලපැමක් කළේ නෑ. යුද හමුදාව ස්වාධීනව පරීක්ෂණ මෙහෙයවූවා.

“මේ ත්‍රස්තවාදී සටන වෙනදාට වඩා වෙනස් සටනක්. තහවුරු කරන්න බෑ ඉවරයි කියලා. අවසානය දැකීම සඳහායි ක්‍රියාන්විතය සිදු කරන්නේ. නැවතත් හදිසි නීතිය දික් කර තිබෙනවා. පෙර තිබූ තත්ත්වයට වඩා ත්‍රිවිධ හමුදාව හා පොලිසිය අතර සම්බන්ධතාව වැඩි වී තිබෙනවා. අපි දැන් බුද්ධි අංශ සමඟ සාකච්ඡා කරනවා. ඒ වගේම බුද්ධි අංශ කිහිප කිහිපදෙනෙක් අත්අඩංගුවට ගත්තා කියා සමස්ත බුද්ධි අංශ කඩා වැටීමක් වුණා කියලා කියන්න බෑ. සතියක් වැනි කාලයකදී විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. කිසිම අවස්ථාවක සියයට සියයක් ඉවරයි කියලා කියන්න බැහැ. ත්‍රස්තවාදය කියන එක දිනයකින් හෝ දවස් කිහිපයකින් ඉවර කරන්නත් බැහැ.”

පසුව බුද්ධි අංශ සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය ගැන සොයන තේරීම් කාරක සභාවෙන් ජනමාධ්‍ය ඉවත් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *