මහජන බැංකුව පෞද්ගලීකරණය කර නැහැ – ඇමති මංගල

(කොළඹ, ලංකාපුවත්) –ගිණුම් හිමියන්ට කොටස් ප්‍රාග්ධනය ලබා දෙන බව කියමින් රජය, මහජන බැංකුව පෞද්ගලීකකරණය කිරීමට සැරසෙන බවට ජාතික පුවත්පත්වල පළ වූ වාර්තා මහජනතාව නොමඟ යවන, අසත්‍ය මෙන්ම ද්වේශසහගත ඒවා බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටී.

ප්‍රාග්ධන ඌනතාවක් ඇති බව හුවා දක්වමින් මහජන බැංකුවේ කොටස් විකුණා දැමීමට රජය උත්සාහ දරන බවට ඇතැම් දේශපාලන පක්ෂ සහ ඔවුන්ට සම්බන්ධ බැංකු වෘත්තීය සමිති ප්‍රධානීන් උපුටා දක්වමින් මෙම මාධ්‍ය වාර්තා පළ කර තිබෙන බවත්, එසේ වුවද මහජන බැංකුව පෞද්ගලිකකරණය සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බවත් මුදල් ඇමතිවරයා ඊයේ (26) ඒ පිළිබඳව නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වේ.

මෙම චෝදනාවට පදනම් වී ඇත්තේ මුදල් අමාත්‍යාංශය විසින් පසුගියදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද මහජන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත බවත් මෙම සංශෝධනය මඟින් සිදු කෙරෙනුයේ බැංකුවේ බලයලත් ප්‍රාග්ධනය වැඩි කිරීම සහ ණයකර නිකුත් කිරීම මඟින් බැංකුවට යම් මුදලක් එක් රැස් කර ගැනීම සඳහා බැංකුවටම අවස්ථාව ලබා දෙමින් බැංකුව මූල්‍ය වශයෙන් තව දුරටත් ශක්තිමත් කිරීම බවත් මුදල් ඇමතිවරයා අවධාරණය කරයි. මෙම නව පනත සම්මත කළ පසු මහජන බැංකුව සතු කොටස් එහි සේවකයන්ට සහ තැන්පත්කරුවන් වෙත නිකුත් කරන අතර ඉන් පරිබාහිර කිසිවෙකුට එම කොටස් නිකුත් නොකරන බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *