අද සිට රාජ්‍ය සේවා වැටුප් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාමිකයන්ගේ හා ත්‍රිවිධ හමුදාවල සාමාජිකයන්ගේ දීමනා අද (01) සිට ඉහළ දැමෙන බව මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කරයි.

වසර 2019 අයවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් කළ යෝජනා මෙලෙස ක්‍රියාත්මක වන බවද මහා භාණ්ඩාගාරය පවසයි. ජුලි මාසයේ සිට ලබන දෙසැම්බර් මාසය දක්වා වූ කාලසීමාව සඳහා මේ වැටුප් හා විශ්‍රාමික දීමනා වැඩිකිරීම් ලබාදීමට රජය වෙන් කළ මුදල රුපියල් මිලියන හතළිස්දාහක් වන බව මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා ඉතිහා‍සයේ වැඩිම වැටුප් බිල හා ඉහළම දීමනා ගෙවීම් වියදම ලෙස මේ රුපියල් මිලියන 40000 වියදම හැඳින්විය හැකි බවද මහා භාණ්ඩාගාරය කියයි.

ඒ අනුව 11 ලක්ෂයක් වන රාජ්‍ය සේවකයින්ට සහ ලක්ෂ 05 ක් වන විශ්‍රාමිකයින්ට වැටුප් හා දීමනා වැඩි කිරීමට රජය පියවරගෙන ඇත. මේ යටතේ රාජ්‍ය සේවකයින්ට රුපියල් 2500 ක අන්තර්කාලීන දීමනාවක් අද සිට ලබාදේ. ඒ පිළිබඳව අදහස් දක්වන මුදල් අමාත්‍යාංශය මෙසේද කියා සිටියි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ 2019 අයවැය මඟින් යෝජිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ඇතුළු වැටුප් සහ දීමනා ඉහළ නැංවීම අද (ජූලි 01) සිට ක්‍රියාත්මකයි. මේ ය‍ටතේ ආරක්ෂක අංශ දීමනා ඉහළ නැංවීම, විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සහ විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ගේ දීමනා ඉහළ නැංවීම සිදුකෙරේ. මේ වෙනුවෙන් රජය වෙන් කර ඇති සමස්ත මුදල රුපියල් මිලියන 40,000 කට ආසන්න ය.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම යටතේ ලක්ෂ 11 ක් පමණ වන රාජ්‍ය සේවකයින්ට රුපියල් 2500/- ක අන්තර් කාලීන දීමනාවක් අද සිට හිමි වේ. මේ වෙනුවෙන් රජය වැය කරන මුදල රුපියල් මිලියන 20,000 කි. මෙම අන්තර් දීමනාව අද සිට ක්‍රියාත්මක වුවද මෙතෙක් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබා දුන් රුපියල් 7,800 ජීවන වියදම් දීමනාව එලෙසම තවදුරටත් ගෙවනු ලැබේ.

මේ අතර ත්‍රිවිධ හමුදාවේ නිලධාරින්ට සහ සෙසු නිලයන්ට ගෙවනු ලබන දීමනා ඉහළ නැංවීමේ තවත් පියවරක් අද සිට ක්‍රියාත්මක ය. එම නිලධාරින්ගේ සහ සෙසු නිලයන්ගේ මාසික සලාක දීමනාව ඉකුත් ජනවාරි මස සිට ඉහළ නැංවීමට රජය පියවර ගත්තේ ය. ඒ අනුව නිලධාරින්ගේ සලාක දීමනාව රුපියල් 23,231 දක්වා ද සෙසු නිලයන්ගේ සලාක දීමනාව රුපියල් 19,350 දක්වා ද මේ වනවිටත් ඉහළ නංවා ඇත. ඊට අමතරව අද සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ගෙවනු ලබන ගෙවල් කුලී දීමනාව දෙගුණ කෙරේ. එ‍ෙස්ම යුධ, නාවුක හා ගුවන් හමුදා සේවයේ සමාන නිලධාරින්ගේ කමාන්ඩෝ දීමනාව රුපියල් 1,000 සිට රුපියල් 5000 දක්වා අද සිට ඉහළ නැංවේ. මේ වෙනුවෙන් රජය වැයකරන මුදල රුපියල් මිලියන 1175 කි.

මීට අමතරව විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ අයවැය යෝජනාව ද අද සිට ක්‍රියාත්මකය. ඒ අනුව 2015 දෙසැම්බර් 31 ට පෙර විශ්‍රාම ගිය ලක්ෂ 5 ක් පමණ වන සියලුම විශ්‍රාමිකයන්ට මේ යටතේ රුපියල් 2,800 අවමයක සිට රුපියල් 20000 උපරිමය දක්වා විශ්‍රාම වැටුප ඉහළ නැංවේ. මීට අමතරව විශ්‍රාමිකයන් වෙනුවෙන් ගෙවනු ලබන රුපියල් 3,525 ජීවන වියදම් දීමනාව එලෙසම තවදුර‍ටත් ගෙවනු ලැබේ. මෙම විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් රජය වෙන්කර ඇති මුදල් රුපියල් මිලියන 12,000 කි.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ මාසික දීමනාව රුපියල් 2000 සිට 5000 දක්වා ඉහළ නැංවීමේ අයවැය යෝජනාව ද අද සිට ක්‍රියාත්මකය. ඒ අනුව මෙතෙක් එම දීමනාවට හිමිකම් ලබා සිටි පුද්ගලයන් 32000 ට අමතරව දීමනාව ලබා ගැනීමේ අරමුණෙන් පොරොත්තු ලේඛනයේ රැඳී සිටි පුද්ගලයන් 40000 ක් ඇතුළු විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් 72000 කට මෙම දීමනාව අද සිට හිමි වේ. ඒ වෙනුවෙන් රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 4350 කි.

නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත්ව සිටින 21,000 ක පමණ පිරිසකට රජය මගින් දැනටමත් රුපියල් 5000 ක දීමනාවක් ලබාදෙනු ලබයි. තවත් විශාල පිරිසක් එම දීමනාව ලබාගැනීම සඳහා පොරොත්තු ලේඛනගතව සිටි අතර ඉන් තවත් 5000 ක පිරිසකට එම දීමනාව ලබාදීම ද අද සිට සිදුකෙරේ. ඒ වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1840 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *