රක්‍ෂණ ආවරණ නොමැති කිසිදු යාත්‍රාවකට ධීවර රැකියාව සදහා අවසර නොදීමට තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – ධීවර රැකියාව සදහා මුහුදු යන ධීවර යාත්‍රා සියල්ල නිසි ලෙස රක්‍ෂණ ආවරණය කර තිබීම අනිවාර්ය කිරීමට අවශ්‍ය කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.

ධීවර දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේ එවැනි රක්‍ෂණ ආවරණ නොමැති කිසිදු යාත්‍රාවකට ධීවර කටයුතු සදහා නිරතවීමට කිසිදු ආකාරයක බලපත්‍රයක් ලබා නොදෙන ලෙසය.

අම්බලන්තොට ගුරුපොකුණ ධීවර සමිති ප්‍රජා ශාලාවේදී ධීවර ජනතාව සමග 28 දින පැවති සාකච්ජාවකදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා මෙම උපදෙස් ලබාදුන්නේය .

රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතී මෙම සාකච්ජාවට ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක නිහාල් පාලිත, සහකාර ධීවර අධ්‍යක්ෂක , හම්බන්තොට කළමණාකාර නිලධාරීන් , ධීවර වරාය නීතිගත සංස්ථාවේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් , ධීවර වරාය නැංගුරම් පල ව්‍යාපෘතියේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ධීවර සමිති නිලධාරීන් සහ ධීවර කාර්මිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී ධීවර කාර්මිකයින් පෙන්වා දුන්නේ අනතුරට පත් ධීවර යාත්‍රා සදහා රක්‍ෂණ වන්දි ලබාගැනීමේ බරපතල ගැටළු මතු වී ඇති බවය. මෙහිදී කරුණු විමසා බැලු රාජ්‍ය අමාත්‍යතුමාට අනාවරණය වුයේ නිසි ලෙස රක්‍ෂණ ආවරණ කටයුතු සිදු නොකිරීම නිසා රක්‍ෂණ වන්දි ලබාගැනීමේදී එවැනි ගැටළු මතුව ඇති බවය .

මේ හේතුවෙන් ධීවර කාර්මිකයින් , යාත්‍රා හිමිකරුවන් මෙන්ම ධීවර පවුල් පත්වන අසීරුතාව පිලිබදව මෙම සාකච්ජාවට එක් ව සිටි ධීවර කාන්තාවන් පැහැදිලි කළහ .

ගොඩබිමදී සිදුවන අනතුරු සදහා මෙන්ම මුහුදේ සිදුවන අනතුරු වලදී අර්ධ හානි වන බෝට්ටු සදහා කිසිදු රක්‍ෂණ වන්දියක් නොලැබෙන බවට ධීවරයින් පෙන්වා දුන්හ .

ඒ අනුව පුර්ණ හානි සදහා පමණක් දැනට රක්‍ෂණ ආවරණය ලබාදීමෙන් ධීවර ප්‍රජාව පත්ව සිටින අසරණ තත්වය සලකා පුර්ණ හානි වලට අමතරව අර්ධ හානි සදහා ද රක්‍ෂණ ආවරණය ලබාදීමට අවශ්‍ය කටයුතු කඩිනමින් ඉටුකරන ලෙස මෙහිදී රාජ්‍ය අමාත්‍යතුමා ධීවර දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *