(කොළඹ, ලංකාපුවත්) – ‘විශිෂ්ට දේශපාලන දැක්ම සහ වීර්යය‘ වෙනුවෙන් වන සම්මානයෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පිදුම් ලැබුවාය.
මෙම සම්මානය Common Ground සංවිධානය විසින් පිරිනමනු ලැබූ අතර සම්මාන ප්රදානෝත්සවය ජුනි මස 16වනදා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ලෝර්ඩ්ස් නිවහනේ දී පැවැත්විණි. මෙම සම්මානයෙන් සංකේතවත් කරනු ලබන්නේ ඇය කරන ලද උත්කෘෂ්ඨ මෙහෙවර ඇගයීම පිණිස ලොව පුරා ජීවත්වන මිලියන සංඛ්‍යාත ජනතාවගේ ගෞරවය පිරිනැමීමයි.
ශ්‍රී ලංකාවේ ජන විවිධත්වය ප්‍රසිද්ධියේ පිළිගත් ප්‍රථම ජන නායිකාව වීම, ජාතික සමගිව සහ සංහිදියා කාර්යාංශයේ සභාපතිනිය ලෙස සාමය හා සංහිදියාව වෙනුවෙන් දිගුකාලීන ස්ථීරසාර විසඳුම් ගොඩනගමින් සීටීම, සාමය ඇති කිරීම සදහා වන බලාපොරොත්තුවෙන් අතීතයේ තම ජීවිතය බිලි දුන් ඇය අනාගතයේ සමෘද්ධිය උදාකරලීම සදහා වීර්යවන්තව නැගී සිටීම ඇය මෙම සම්මානයෙන් පිදුම් ලැබීමට හේතු වූ කරුණු අතරවේ.
එසේම ලෝකයේ ප්රචණ්ඩ ක්‍රියා සිදුවන අනෙකුත් රටවලට ආදර්ශ සපයමින් තම රට ඉදිරියට ගෙන යාම සදහා සාමයේ සහ සංහිදියාවේ ප්‍රතිමූර්තියක් ලෙස ගෞරවයට පාත්‍ර වෙමින් කටයුතු කිරීම, පසුගිය දශක තුන පුරා සාමය ගොඩනැංවීම සදහා සුවිශේෂී ධෛර්යවන්ත නායකත්වයක් සපයමින් ලෝකයේ සාමය ගොඩනැංවීම සදහා උත්සාහ කරන මුළු මහත් ජනතාව දිරි ගැන්වීම, සාමය හා සංහිදියාව ඇති කිරීමට අපේක්ෂා කරන සියලු ශ්‍රී ලාංකිකයින්ට ‘සුදු නෙළුම‘ සාම ව්‍යාපාරය හරහා ධනාත්මක ආදර්ශයක් ලබා දීම ද මෙම සම්මානය පිරිනැමීමේ අරමුණු අතර වේ.