සංචාරක කර්මාන්තය නංවන්න පියවර රැසක්

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පසුබෑමට ලක් වූ සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීම සඳහා, මෙරටට පැමිණෙන ගුවන් සේවාවන්ට සහන සැලසීමේ වැඩ පි‍ළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට ඊයේ(01) උපදෙස් දුන්නේය.

මේ අනුව ගොඩබිම් මෙහෙයුම් කටයුතු ගාස්තු අඩු කිරීම, ගුවන් යානාවලට සපයන ඉන්ධන මිල අඩු කිරීම සහ ගුවන්ගත වීමේ බදු අඩු කිරීම වැනි පියවර රැසක් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දුන් අගමැති වික්‍රමසිංහ මහතා එවැනි සහනයන් ලබා දීම මගින් ගුවන් සේවාවලට සිය ගුවන් ගමන් ටිකට්පත්වල මිල අඩු කිරීමට හැකි බව පෙන්වා දුන්නේය.

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ පැවැති සාකච්ඡාවක දී අගමැතිවරයා මේ බව සඳහන් කළේය. මෙම සාකච්ඡාවට සංචාරක සංවර්ධන අමාත්‍ය ‍ජෝන් අමරතුංග, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක රාජ්‍ය ඇමැතිවරුන් වන ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ගුවන් තොටුපල සහ ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා, සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව සංචාරක පුරවරයක් කිරීමේ දී ද මෙම ක්‍රියාදාමයන් අනුගමනය කිරීම වැදගත් බවයි.

ඉන්දි‍යාවේ නවදිල්ලි නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ක්‍රියාත්මක ගොඩබිම් මෙහෙයුම් කටයුතුවල මට්ටමට අප ගුවන් තොටු‍පලේ සේවාවන් පවත්වා ගත යුතු බවත් නැව්ගත වීමේ බදු මුදල ඩොලර් 40 දක්වා අඩු කරන ලෙසද අගමැතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. මෙසේ සේවාවන් සහ ඉන්ධන මිල අඩු කිරීමේ දී ගුවන් සේවාවන්ට සිය ගුවන් ටිකට් පත්වල මිල අඩු කළ හැකි වන බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.

සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සංචාරක ප්‍රවර්ධන වැඩ පිළිවෙළ කඩිනමින් විධිමත් කළ යුතු බවත් අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය. එහිදී සංචාරක මෙහෙයුම්කරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 150ක මුදලක අරමුදලක් පිහිටුවන බව ද අගමැති වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය. සංචාරක ප්‍රවර්ධනයේ දී ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය සහ ඉන්දියාවේ සංචාරකයන් විශේෂයෙන් අරමුණු කර ගනිමින් කටයුතු කළ යුතු බවත් අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

හෝටල් කර්මාන්තකරුවන් බැංකුවලින් ණය ලබා ගැනීමේ දී විශාල ඇපකරයක් ඉල්ලා සිටීම නිසා ණය ලබා ගැනීමේ දී හෝටල් කර්මාන්තකරුවන් දැඩි අසීරුතාවකට පත් වන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. ණය ලබා දීමේ දී බැංකුවලට මුහුණ පෑමට සිදු වන ‍අවදානම බෙදා ගැනීම සඳහා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ අදාළ බැංකු සමඟ සාකච්ඡා කර වැඩ පිළිවෙළක් සකස් කරන ලෙස අගමැතිවරයා උපදෙස් ලබා දුන් අතර රාජ්‍ය අමාත්‍යවරුන් වන හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න මහත්වරුන්ට එම වැඩ පිළිවෙළ භාර දෙනු ලැබිණි. සංචාරක කර්මාන්තය සඳහා පළාත් පාලන ආයතනවලින් අය කරනු ලබන බදු මුදල්වලින් සහනයක් ලබා දිය යුතු බවට මෙහිදී අවධානය යොමු වූ අතර එය නීතිපතිවරයා සමඟ සංචාරක ඇමැතිවරයා සමඟ සාකච්ඡා කර ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවට මෙහිදී අවධාරණය විණි.

සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දී එළැඹුණු තීරණයන් කැබිනට් මණ්ඩලයට යොමු කරන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *