ඉන්දියාව අවසන් පූර්ව වටයට

(කොළඹ, ලංකාපුවත්) –බර්මින්හැම්හිදී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 40 වැනි තරගයෙන් ඉන්දියාව හමුවේ ලකුණු 28කින් පරාජයට පත්වීම හේතුවෙන් අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු අත්හැර ගැනීමට බංග්ලාදේශයට ඊයේ (02)සිදුවිය.

මේ ජය සමගින් තරග 8කින් 6ක් ජයගෙන ප්‍රසාද ලකුණු 13ක් සමග අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට ඉන්දියාවට ඊයේ හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් ඉන්දියාව ලබාදුන් ලකුණු 315ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශයට ඕවර 48කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 286ක් පමණි.

මේ තරගාවලියේ සිවුවැනි අර්ධ ශතකය ලෙස ලකුණු 66ක් රැස්කළ ශකීබ් අල් හසන් බංග්ලාදේශ පිළිතුරු ඉනිමේ ඉහළම ලකුණුලාභියා විය. පන්දු 74කට මුහුණදුන් ඔහු හතරේ පහර 6ක් එල්ල කළේය. හර්දික් පාන්ඩ්‍යාගේ තෙවැනි කඩුල්ල ලෙස ශකීබ් දැවී ගිය අතර ඉන් පෙර සෞම්‍ය සර්කාර් (33) සහ ලිටොන් දාස් (22) ද පාන්ඩ්‍යාට ගොදුරු විය. ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් (22) මොහොමඩ් ෂාමීගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් මුළු ලකුණු 39දී පළමු කඩුල්ල ලෙස දැවී ගොස් තිබිණි.

මුළු ලකුණු 179දී 6 වැනි කඩුල්ල ලෙස ශකීබ් දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි මොහම්මඩ් සයිෆුඩීන් හුදෙකලා සටනක නිරත වෙමින් පන්දු 38කින් නොදැවී ලකුණු 51ක් රැස්කළද කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. සබීර් රහ්මාන් (36) සමග එක්ව 7 වැනි කඩුල්ලට පන්දු 56කින් ලකුණු 66ක සබඳතාවක් ගොඩනැගූ සයිෆුඩීන්, රුබෙල් හුසේන් සමගින් 9 වැනි කඩුල්ලට පන්දු 20කින් ලකුණු 29ක් එක් කළේය. ඉනිමේ 48 වැනි ඕවරයේ 5 වැනි පන්දුවෙන් රුබෙල් දවාගත් බුම්රා ඊළඟ පන්දුවෙන් මුස්තාෆිසූර් රහ්මාන් දවා ගනිමින් ඉන්දියාවේ ජය තහවුරු කළේය. බංග්ලාදේශ අවසන් කඩුලු 4 ලකුණු 41ක් තුළ බිඳ දැමීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වුහ.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් රෝහිත් ෂර්මා, ලෝකේෂ් රාහුල් සමග එක්ව පළමු කඩුල්ලට පන්දු 176කින් ලකුණු 180ක් එක් කළේය. මෙවර තරගාවලියේ සිවුවැනි ශතකය මෙන්ම 26 වැනි එක්දින ශතකය ලෙස ලකුණු 104ක් රැස්කළ ඔහු හතරේ පහර 7කින් සහ හයේ පහර 5කින් ඉනිම සරසා ගත්තේ පන්දු 92ක් පමණක් වැය කරමිනි. මේ සමගින් මෙවර තරගාවලියේ වැඩිම ලකුණුලාභියා (544) බවට පත්වීමටද ෂර්මාට හැකිවිය.

මේ ශතකයත් සමගින් ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ශතකලාභීන් අතර දෙවැනි තැන ගැනීමට ෂර්මා සමත්වූයේ ඉනිම 15කදී ශතක 5ක් ලබා ගනිමිනි. එහි පෙරමුණේ පසුවන සචින් තෙන්ඩුල්කර් ඉනිම 44කදී ශතක 6ක් රැස්කර ඇති අතර රිකී පොන්ටින් ඉනිම 42කදී ශතක 5ක් සහ කුමාර් සංගක්කාර ඉනිම 35කදී ශතක 5ක් රැස්කර තිබේ. ෂර්මා දැවී යෑමෙන් ලකුණු 15කට පසු රාහුල්ගේ ඉනිම ලකුණු 77කට නිමා විය. හතරේ පහර 6ක් සහ හයේ පහරක් එල්ල කළ ඔහුද පන්දු 92කට මුහුණදී තිබිණි.

පිට පිට අර්ධ ශතක 5ක් රැස්කළ ඉන්දීය නායක විරාට් කෝලිගේ ඉනිම ඊයේ ලකුණු 26කට සීමා වූ අතර මහේන්ද්‍ර සිං දෝනි පන්දු 33කින් ලකුණු 35ක් රැස් කළේය. ඉන්දීය පිලට සාර්ථක ආරම්භයක් ලැබුනත් අවසන් කඩුලු 4 බිඳ වැටුණේ ලකුණු 16ක් තුළදීය.

පන්දු යැවීමේදී මුස්තාෆිසූර් රහ්මාන් ලකුණු 59කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *