කොටි හිතවාදී ප්‍රකාශ නිසා වයිකෝට සිරදඬුවම්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ස්වෛරීභාවයට තර්ජනය වන ආකාරයෙන් කොටි සංවිධානයට සහාය පළකරමින් ප්‍රකාශයක් සිදුකිරීම මත තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලකයකු ලෙස සැලකෙන එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයි ගෝපාල සාමි හෙවත් වයිකෝ හට චෙන්නායි අධිකරණයෙන් වසරක සිරදඬුවමක් හා 10,000දඩයක් නියම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

2009 වසරේ චෙන්නායි හි පැවති ග්‍රන්ථයක් එළිදැක්වීමේ උත්සවයකදී කොටි සංවිධානයට පක්ෂව සහ ඉන්දීය ස්වෛරීභාවයට තර්ජනය වන ආකාරයෙන් කරන ලද ප්‍රකාශයකට එරෙහිව දේශද්‍රෝහී චෝදනාව මත තමිල්නාඩු රජය විසින් මෙම නඩුව පවරා තිබුණි.

තමිල්නාඩුවේ මැති ඇමැතිවරුන්ට එරෙහිව නඩු විභාග කරන විශේෂ අධිකරණයක් හමුවේ විභාග වී තිබේ.

අදාළ චෝදනාවන්ට වරදකරු බවට අධිකරණය විසින් තීන්දු කිරීමෙන් පසුව තමාට දෙන දඬුවම ද අද දිනයේම ප්‍රකාශයට පත්කරන ලෙසට වයිකෝ සිය නීතිඥයින් මාර්ගයෙන් ඉල්ලා ඇති අතර ඒ අනුව අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවට හා ඒ තාක් තීන්දුව අත්හිටුවන ලෙසට වයිකෝ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයට කරුණු දක්වා ඇති අතර ඒ සඳහා වයිකෝ හට මසක කාලයක් අධිකරණය විසින් ලබා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *