නඩු ප්‍රමාදය වලක්වන්න ඉදිරි දින කිහිපයේ පනත් සංශෝධනයක්

(කොළඹ, ලංකාපුවත්) – අනවශ්‍ය ලෙස නඩු ප්‍රමාදවීම වැලැක්වීම සඳහා ඉදිරි දින කිහිපය තුළදී නව පනත් කිහිපයක සංශෝධන පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව අධිකරන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පැවසීය.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ මාතලේ නව මහාධිකරණය විවෘත කිරීමේ අවස්ථාවට අද(05) පෙරවරුවේ එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

“රජයක් ලෙස අපි අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරන්න කැප වෙලා ඉන්නවා.ජනතා අවශ්‍යතා වෙනුවෙන් අපි හැම විටම කැප වෙලා ඉන්නවා.සමහර විට අපි ගන්න තීරණ ජනප්‍රිය නැතිව ඇති.නමුත් අපි ජනතා අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරනවා.“

“අපි අධිකරණයයට තිබුණු බලපෑම් ඉවත් කරන්න පියවර රාශියක් ගත්තා.අපි කළ දේවල් නිසා විනිසුරුතුමන්ලාට මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවටත් ස්වාධීන තීන්දු තීරණ ගන්න පුළුවන් වුණා.හෙට අනිද්දා වෙන කොට හිතපු නැති පනත් දෙක තුනක වෙනස්වීම් සිදු කරනවා.ජනතාව මේ මහාධිකරණ කටයුතු වැනි දේවල් නොදන්න නිසා මෙන්ම තවත් විවිධ හේතු නිසා උසාවිවල රස්තියාදු වෙනවා. බන්ධනාගාරවලට ගිහිල්ලා බලපුවහම පේනවා අනවශ්‍ය ප්‍රමාද ඇති වෙලා තියෙනවා කියලා.අද හත් ලක්ෂ පනස් දහසක් නඩු අධිකරණවල ගොඩ ගැහිලා තියෙනවා.නඩු කටයුතුවලට පටලැවිලා ඉන්න ජනතාව ඉන්නේ ගොඩාක් දුකින් සහ කණස්සල්ලෙන් බව කිව යුතුයි.“

මෙරට මහාධිකරණයක් නොමැති එකම දිස්ත්‍රික්කය මාතලේ දිස්ත්‍රික්කය වන අතර, මීට පෙර මහාධිකරණයක විභාග වන නඩු කටයුතු සිදු වුයේ මහනුවර මහාධිකරණය මගිනි. මහාධිකරණයක් නොමැතිවීම හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල, දඹුල්ල, යටවත්ත ,ඉලුක් කුඹුර, ලග්ගල පල්ලේගම, විල්ගමුව වැනි ප්‍රදේශවල ජනතාවට තම කාලය ධනය මහන්සිය කැප කරමින් මහාධිකරණ කටයුතු සඳහා මහනුවරට යාමට සිදු වුණි.

මාතලේ දිසා අධිකරණ බල ප්‍රදේශය, නාවුල මහෙස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශය, දඹුල්ල දිසා අධිකරණ බල ප්‍රදේශය ,මාතලේ මහාධිකරණ බල ප්‍රදේශයට අයත් වෙයි.

මාතලේ මහාධිකරණ බල ප්‍රදේශය 2010.10.11 වැනි දින අති විශේෂ ගැසට් පත්‍රය මඟින් නම් කර ඇති අතර, මේ වන විට ආසන්න වශයෙන් මහාධිකරණයක විභාග විය යුතු නඩු 350 ක් පමණ මෙහි විභාග වීමට ඇත.
අපරාධ නඩු 250 ක් හා සෙසු නඩු 100 ක් පමණ ඒ යටතට අයත් වේ.

ස්ථාපිත කරනු ලබන නව මහාධිකරණයේ මහාධිකරණ විනිසුරු ලෙස මහනුවර පළාත්බද මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා පත් කර තිබේ. මාතලේ නව මහාධිකරණය ස්ථාපිත කිරීම සදහා රුපියල් මිලියන 41 ක මුදලක් වැය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *