ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ඩොලර් මිලියන 1700ක්

(කොළඹ, ලංකාපුවත්) –කැඩී බිඳී අබලන්ව වල් වැදී තිබෙන අති දුෂ්කර ග්‍රාමීය මාර්ග වැඩි දියුණු කොට ගම නගරය යා කිරීමේ ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙරටට එක්සත් ජනපද ඩොලර් මිලියන 1700ක මුදලක් ලබාදීමට තීරණය කොට තිබේ.

ඒ අනුව ඩොලර් මිලියන 800ක මුදලක් පළමු අදියර යටතේ මෙරටට ලබාදී තිබෙන අතර, එහි දෙවැනි අදියර යටතේ තවත් ඩොලර් මිලියන 900ක අතිරේක මුදලක් ලබාදීමට තීරණය කළ බව ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට සිටින නේවාසික අධ්‍යක්ෂිකා ආචාර්ය ශ්‍රී. විඩෝවතී මහත්මිය ප්‍රකාශ කළාය.

පළමු අදියර වසර 2014 – 2024 ක්‍රියාත්මකය. දෙවැනි අදියර ක්‍රියාත්මක වන්නේ වසර 2017 – 2027 කාලසීමාව තුළය.

මේ අන්දමට මෙරටට ලබා දුන් පළමු අදියර ණය මුදල යටතේ දකුණු, සබරගමුව, වයඹ, මධ්‍යම, උතුරුමැද හා ඌව පළාත්වල ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග කාපට් කර කොන්ක්‍රීට් දමා අලුත්වැඩියා කළ බව සඳහන් කළ විඩෝවතී, දෙවැනි අදියර යටතේ ලබාදෙන මුදලින් උතුරු, නැඟෙනහිර හා බස්නාහිර පළාත්වල ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද කීවාය.

ගමේ ජනතාවගේ ප්‍රවාහන හා මාර්ග සංවර්ධන වැඩ කටයුතු දියුණු කිරීමෙන් සෞභාග්‍යමත් ආර්ථිකයක් ඔවුනට උරුම කර දිය හැකි බව වටහා ගෙන මේ ව්‍යාපෘතිවලට වැඩි වැඩියෙන් ණය මුදල් ලබාදීමට තීරණය කළ බව ද විඩෝවතී මහත්මිය කීවාය.

දැනට පළමු අදියර යටතේ දකුණු පළාතේ ක්‍රියාත්මක කළ ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලින් සියයට 98ක වැඩ අවසන් කොට ඇතැයි එහි ප්‍රධාන ලේකම් ආර්. සී. ද සොයිසා මහතා කීය.

අධිවේගී මාර්ග, ජාතික මාර්ග හා පළාත්බද මාර්ග හා ප්‍රාදේශීය සභා මාර්ග පවා වැඩි දියුණු කිරීම තම අමාත්‍යාංශයේ අරමුණ බව මහාමාර්ග සංවර්ධන හා ඛනිජතෙල් සම්පත් අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සඳහන් කෙළේය.

උතුරු නැඟෙනහිර, ඌව හා බස්නාහිර පළාත්වල ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති මුලින් ක්‍රියාත්මක නොකළ බවත් ආසියානු සංවර්ධන බැංකුව දෙවැනි අදියර යටතේ අතිරේක ණය මුදලක් ලබාදීම අගය කරන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා ප්‍රකාශ කළේය.

දකුණු පළාතේ ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක වී තිබෙන අතර, ඒවායින් ප්‍රතිලාභ අත්කරගත් ජනතාව පිළිබඳ සොයා බැලීමට අප කළ මාධ්‍ය චාරිකාවේදී මේ තොරතුරු බලධාරියා විසින් පෙන්වා දෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *