චීනයෙන් ප්‍රදානය කළ පී- 625 නෞකාව කොළඹට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානය කරන ලද පී – 625 නෞකාව අද(08) උදෑසන කොළඹ වරාය වෙත ළඟාවිය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම නෞකාව ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කර ඇති අතර , ගැඹුරු මුහුද නිරීක්ෂණය කිරීමේ නෞකාවක් වන මෙහි අධිතාක්ෂණික උපාංග රැසකින් ද සමන්විත වේ.

නෞකාව අද උදෑසන 9.30 ට පමණ කොළඹ වරායට සේන්දු විය.

එහිදී නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලද අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ මහජන චීන සමුහආණ්ඩු තනාපති, චේන්ග් සූයුවාන්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්ෂක ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල බටහිර නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, ශ්‍රී ලංකාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබඳ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි සහභාගී වී ඇත.

තවද, නාවික හමුදා මූලස්ථානය සහ බටහිර නාවික විධානය නි‍යෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද එම අවස්ථාව සඳහා එක් වී සිටියහ.

නෞකාව කොළඹ වරායට පැමිණිමෙන් අනතුරුව, නාවික හමුදාධිපතිතුමා නෞකාවේ නිරීක්ෂණ චාරිකා වාරයක නිරත වූ අතර, එහිදී නෞකාවේ ක්‍රියාකාරීත්වය, මෙහෙයුම් සූදානම සහ සැකැස්ම පිළිබඳව නාවික හමුදාධිපතිතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය. තවද, මෙම නෞකාව නුදුරේදීම අධිකාරියට පත් කිරීමට ද නියමිතව ඇත.

1994 වර්ෂයේ නිශ්පාදනය කර ඇති මෙම නෞකාව දිගින් මීටර් 112 ක් සහ පළලින් මීටර් 12.4 ක් වන අතර, එහි ධාරිතාවය ටොන් 2300 ක් වේ.

පී 625 නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන්, කපිතාන් නලින්ද්‍ර ජයසිංහ කටයුතු කරනු ලබන අතර, නෞකාවේ නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු 110 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + 5 =