ජනතාවට සින්නක්කර ඉඩම්වල අයිතිය ලබාදීමට කටයුතු කරනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ජනතාවට ඉඩම්වල සින්නක්කර අයිතිය ලබා දීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ නතර කිරීමට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වත්මන් රජය ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරද්දී ඇතැම් සංවිධාන ඊට එරෙහි වන බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට විරුද්ධව මහ මඟට බැස උද්ඝෝෂණ පවත්වා හෝ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කරන බව අවධාරණය කළේය.

සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමේ පනත් කෙටුම්පත සකසා කැබිනට් අනුමැතිය ගැනීමට වසර දෙකක් ගතවූ බව කී අග්‍රාමාත්‍යවරයා දැන් ඒ පනත අනුමත කොට ගැසට් මඟින් ප්‍රකාශ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවද එහිදි සඳහන් කළේය.

ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහනේ අම්පාර දිස්ත්‍රික් උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අම්පාර, උහන කෘෂිකාර්මික නිෂ්පාදන සැකසුම් අධිකලාපය සඳහා මුල්ගල තැබිම ඊයේ (07) පෙරවරුවේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ අතර අම්පාරේ පැවති ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහනට අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව එක් වූයේය. එහිදි අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද කීවේය.

සෑම පවුලකටම ඉඩමක අයිතිය ලබාදීමේ අරමුණින් මේ ජාතික වැඩසටහන ක්‍රියාත්මකයි.ශ්‍රී ලාංකික ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමේ කටයුත්ත නතර කරන්නට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැහැ.

“සංවිධාන දෙකක් ඔබට සින්නක්කර අයිතිය ලබා දීමට විරුද්ධව කටයුතු කර තිබෙනවා. මේ පිරිස කව්ද? මේ මොන සංවිධානද? ප්‍රතිගාමී බලවේග ජනතාවට ඉඩම් අයිතිය දීමට අකමැති අය සිටිනවා. දැන් මේ ඉඩම් අයිතිය නතර කරන්නට නඩු කියන්න හදනවාලු. මේ සටන අත්හරින්න බැහැ. අප දුරක් පැමිණ තිබෙනවා. ගිය වාරයේත් මෙවැනි කෙටුම්පතක් ඉදිරිපත් කළ විට නොයෙක් ආකාරයට කටයුතු කළා. එදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනපති ලෙසත් අප ආණ්ඩුව ලෙසත් කටයුතු කළා. එතැනින් විවිධ දේ ගෙනාවා. මහ ඇමතිවරු ගෙනාවා. මේ කටයුත්ත නතර කරන්න ක්‍රියා කළා. එහෙත් මෙවර එය නතර කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ වැඩවසම් ආකල්පවලට ඉඩ දෙන්නේ නැහැ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

අම්පාර දයා ඇපරල් උත්සව ශාලාවේ දී මේ උත්සවය පැවැත්වුණු අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංසකරණ හා ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක,සමාජ සවිබල ගැන්වීම හා ප්‍රථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ, ඛනිජ තෙල් කර්මාන්ත රාජ්‍ය ඇමැතිනි අනෝමා ගමගේ මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *