මොරගහකන්ද සෙසු ව්‍යාපෘති කඩිනම් කරන ලෙස ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) –මොරගහකන්ද කළු ගඟ බහුකාර්ය ව්‍යාපෘතියට සම්බන්ධ සෙසු වාරි ව්‍යාපෘති ද කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

වයඹ ඇල, මිනිපේ ඇල මෙන්ම ඉහළ ඇළහැර ඇළ මේ වන විට සංවර්ධනය කෙරෙමින් තිබෙනවා. වයඹ ඇල මඟින් වයඹ පළාත තුළ වැව් 303 කට පමණ ජලය සැපයීම සිදු කෙරේ.

ඉහළ ඇළහැර ව්‍යාපෘතිය යටතේ ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චාදූව වැව, තිසා වැව, හුරුළු වැව ඇතුළු වැව් 1600 කට පමණ දියවර සැපයේ. කළු ගඟ ජලාශයේ ජලය පිරවීමේ කටයුතු ද මේ වන විට අවසන් අදියරේ පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජලාශය ඉදිකිරීමෙන් බලපෑමට ලක් වූ ගම්මාන 24 ක පවුල් තුන්දහසකගේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඉදිකළ වාරි පද්ධතිය වෙනුවෙන් ජලය මුදා හැරීමද කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය.

මේ අතර මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම වෙනුවෙන් කැප වූ පිරිස් සඳහා ප්‍රශස්ත සේවා ඇගයීම් සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මොරගහකන්ද ජලාශ පරිශ්‍රයේදි අද(08) සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *