මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට දායකවූවන්ට ජනපතිගෙන් ඇගැයුම් සම්මාන

(කොළඹ, ලංකාපුවත්) –රටේ සංවර්ධන කි‍්‍රයාවලිය උදෙසා අභියෝග මධ්‍යයේ අවංකව කැපවන රාජ්‍ය නිලධාරින් සහ වෘත්තිකයන් ජාතියේ ගෞරවයට ලක්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය ජාතියට දායාද කිරිමට කැපවූවන් අගයමින් ඊයේ (08) පෙරවරුවේ මොරගහකන්ද ජලාශ පරිශ‍්‍රයේ පැවති ,ප‍්‍රශස්ත සේවා ඇගයුම්, උලෙළ අමතමිනි.

මෙරට දැවැන්තම වාරි ව්‍යාපෘතියක් වූ මොරගහකන්ද – කළු ගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට දැනුමෙන්, ශ‍්‍රමයෙන් හා අප‍්‍රතිහත ධෛර්යෙන් නිසි දායකත්වය උපරිමයෙන් ලබා දුන් 400 දෙනෙකු අගයමින් සම්මාන පිළිගැන්වීම මෙහි දී සිදු කෙරිණි.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදුකරන සිනෝහයිඩ්‍රෝ චීන සමාගමේ ඉංජිනේරුවන් ඇතුළු ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් මෙන්ම ව්‍යෘපෘති අධ්‍යක්ෂ ඞී.බී. විජේරත්න මහතා ඇතුළු නිලධාරින් අගයමින් සම්මාන පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ ස්වාධීන සහ නිදහස් රටක් ලෙස ඉදිරියට යාමට මහවැලිය මගින් ලැබුණු යෝධ ශක්තිය කිසිවෙකුට අමතක කළ නොහැකි බවයි.

මෙරට නව වාරි ශිෂ්ටාචාරයක පසුබිම සැකසු මහවැලි ව්‍යාපාරයේ අවසන් අදියර වූ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය යථාර්ථයක් කිරීමේ සිහිනය සැබෑ කිරීමට ලැබීම පිළිබඳ මෙහි දී සතුට පළ කළ ජනාධිපතිතුමා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් කැපවූ ප‍්‍රධාන ඉංජිනේරුවාගේ සිට අවසන් කම්කරුවා දක්වා සියලුදෙනාට තම ගෞරවය පිරිනමන බවද සඳහන් කළේය.

රජ රට ගොවි ජනතාවගේ දීර්ඝකාලීන සිහිනයක් සැබෑ කරමින් දශක හතරකට පසු මෙරට ඉදිවු විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය මේ වන විට රටේ ජාතික ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙමින් තිබේ. පරාක‍්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක් විශාල එනම් අක්කර අඩි 660,000ක ධාරිතාවකින් යුත් ජලාශ 02කින් සමන්විත මොරගහකන්ද – කළුගඟ බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ උතුරු මහ ඇළ, වයඹ ඇළ, මිණිපේ ඇළ, ව්‍යාපෘති ඇතුළු වාරි ව්‍යාපෘති රැසක් කි‍්‍රයාත්මක වන අතර වයඹ, උතුරු මැද, මධ්‍යම හා නැගෙනහිර පළාත්වල විශාල ගොවි ජනතාවකට එමගින් ප‍්‍රතිලාභ හිමිවනවා මෙන්ම පානීය ජල අවශ්‍යතා ද සම්පූර්ණ කෙරේ.

ආහාර ආනයනය සඳහා මෙරටින් වාර්ෂිකව වැයවන රුපියල් කෝටි දස දහසක මුදල මෙරට තුළ රඳවා ගනිමින් යල් කන්නයේ වගා නොකළ හෙක්ටයාර් 95,000ක් සහ අලුතෙන් සංවර්ධනය කරන හෙක්ටයාර් 5000ක භූමිය තුළ එකි ආනයනික ද්‍රව්‍ය වන බඩ ඉරිඟු, කවුපි, මුං, තල, කුරක්කන් මිනේරි සහ සත්ව නිෂ්පාදන වගාවට යොමු කරමින් ඉතිරි කර ගැනීම තුළ ව්‍යාපෘතිය සහ ඇළ ව්‍යපෘති සඳහා ආයෝජනය කළ මුදල වසර කිහිපයකින් පියවා ගැනීමටත් සමස්ත රටේ ආයෝජනයක් ලෙස යොදා ගැනීමට හැකිවීම විශේෂත්වයකි.

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් මෙගාවොට් 25 ක විදුලිබල ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන අතර එමඟින් වාර්ෂික ආදායම් ඉලක්කය රුපියල් මිලියන 1545කි. පසුගිය වසරේ රුපියල් මිලියන 1100කට වැඩි ආදායමක් එමඟින් ලබාදී තිබේ.

මේ අතර මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම, සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රවර්ධනය මෙන්ම, ඝෘජු හා වක‍්‍ර රැකියා උත්පාදන අවස්ථා ඉහළ නැංවීම ද මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී ප‍්‍රතිලාභ වෙයි.

රජ රට ගොවි ජනතාවගේ කදුළු කතාව නිමා කරමින් මොරගහකන්ද – කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතිය ජාතියට දායද කිරීමට නායකත්වය ගත් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් ද මෙහිදී විශේෂ උපහාර තිළිණයක් පිළිගැන්විණි.
රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ, පා.ම ලක්ෂ්මන් වසන්ත පෙරේරා, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඞී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *