මධූෂ්ගේ මත් ජාවාරම් ගැන විමර්ශන ඇරැඹේ

(කොළඹ, ලංකාපුවත්) – මාකදුරේ මධූෂ්ට එල්ල වී ඇති අපරාධ චෝදනාවලට අමතරව, මත්කුඩු ජාවාරමට අදාළ පරීක්ෂණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මේවන විට ආරම්භ කර තිබේ.

මීට පොලීසිය ඔහු ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් මගින් ඩුබායි රටට පැන ගැනීමෙන් පසු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බවට ලැබී ඇති තොරතුරු මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් මෙම පරික්ෂණ ආරම්භ කර තිබේ.

මධූෂ් මේ ආකාරයෙන් ඩුබායි සිටිය දී සිදුකළ බව කියන මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව මෙරටදී විටින්විට අත්අඩංගුවටගත් මදුෂ්ගේ ගෝලයන් හෙළි කළ තොරතුරු මත මධූෂ් එම ජාත්‍යන්ත්ර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව සිටි බවත්, එසේ අත්අඩංගුවට පත් මධූෂ්ගේ ගෝලයන්ගේ දුරකතන ඇමතුම්වලින් මුල් කාලයේ දී මධූෂ්ගේ සම්බන්ධතාව හෙළි වූ බවත් පසුව මධූෂ් මෙම ජාවාරම්කරුවන් සමඟ කතා කර ඇත්තේ සැටලයිට් දුරකතන හුවමාරු ඔස්සේ බවත් තොරතුරු ලැබී ඇත.

මේවන විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය දෙස් විදෙස් බුද්ධි තොරතුරු ද ඔත්තු සේවා මගින් ද හෙළි කරගෙන ඇති තොරතුරු මත මඹූෂ් මත් කුඩු ජාවරමට සම්බන්ධ වී සිටි බවට ද යම් තොරතුරු රැසක් හෙළි කරගෙන ඇති නමුත් මෙම තොරතුරු අනුව මධූෂ් ඊට ඇති සම්බන්ධතාව හෙළි කර ගැනිමට ඉදිරියේ දී ඔහුගෙන් ඒ සම්බන්ධ ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

මත්ද්‍රව්‍ය නාශක අංශය හෙළි කරගෙන ඇති තොරතුරුවලට අනුව මධූෂ්ගේ සම්බන්ධතාව මත මෙරටට මත්කුඩු ටොන් දෙක තුනක් පමණ ගෙනවිත් ඇති බවත් ඊෂි කැෂ් සහ මොන්ඩියල් ක්‍රමය ඔස්සේ මේවාට මුදල් ගෙවීම වැනි ගනුදෙනු සිදුවී ඇති බවත්, මෙම ජාවාරම් කරගෙන යාමට සහාය වූ පිරිස සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබී ඇති ඇතැම් පුද්ගලයන්ගේ සම්බන්ධතාව ගැනත් මේ ආකාරයෙන් මධූෂ් ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

මේ අතර මධූෂ්ගේ අනුදැනුම මත සහ ඔහුගේ සෟජු සම්බන්ධතාව මත සිදුවූ බව කියන අපරාධ පනහකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් පොලීසිවලින් වාර්තා කැඳවා තිබේ.

ඒ අතර මධූෂ් විදේශ ගතව සිටිය දී ඔහු මෙහෙයවා ඇතැයි කියන බරපතළ අපරාධ හතරක පරීක්ෂණ මේ වන විට අවසන් වන තත්ත්වයට පත්වී ඇති අතර එම අපරාධ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන කණ්ඩායම් වැදගත් තොරතුරු රැසක් හෙළි කර ගෙන තිබේ.

එම පරික්ෂණ තවදුරටත් සිදු වෙමින් පවතින අතර මධූෂ්ට එරෙහිව එල්ල වී ඇති සෙසු අපරාධ චෝදනා සම්බන්ධව ද පරීක්ෂණ ආරම්භ වෙමින් පවතී .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *