බන්ධනාගාරගත සිරකරු පශ්චාත් උපාධිය ලබා ගනී

(කොළඹ, ලංකාපුවත්) – අනාගතය ගැන බලාපොරොත්තු අත්නොහැර ,ජිවිතය ගැන ධනාත්මකව සිතමින් සිරකුටියක කල්ගෙවු රැඳවි ලක්මිණී ඉන්දික බමුණුසිංහ අද (11) මෙරට බන්ධනාගාර ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබුවේ කැලණිය විශ්ව විද්‍යාලයෙන් සිය ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගනිමිනි.

ඒ අද(11) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ,කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානොත්සවයේදීය.

ඒ අනුව බන්ධනාගාර ගතව සිටියදී උසස් අධ්‍යාපනය ලබමින් ශාස්ත්‍රපති උපාධිය හිමි කර ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථමයා මෙන්ම ලෝකයේ පස්වැනියා ලෙස ලක්මිණී ඉන්දික බමුණුසිංහ ලෝක වාර්තා පොතට එක් වූයේය.

ප්‍රකට ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියට වරදකරුවී මරණ දණ්ඩනය හිමිවී සිටින ඉන්දික බමුණුසිංහ තම ජීවිතය පිළිබඳව අත්නොහල බලාපොරොත්තු සමග උසස් අධ්‍යාපනයට යොමු වන්නට සිතුවේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුවය . එවකට වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාව සිටි වත්මන් බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන හා නිපුණතා සංවර්ධණ) චන්දන ඒකනායක මහතාගෙන් ඒ සඳහා ලැබුණේ නොමඳ සහයකි.ඒ අනුව වසර 2016 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බාහිර අයදුම්කරුවකු ලෙස ලියාපදිංචි වී සිංහල, බෞද්ධ සංස්කෘතිය, සමාජ විද්‍යාව සහ අපරාධ විද්‍යාව විෂයයන්හදාරමින් ශාස්ත්‍රවේදී උපාධිය සමත් වුයේය.

ශාස්ත්‍රපති උපාධීය සඳහා කැළණිය විශ්ව විද්‍යාලය හා සම්බන්ධ වූ ඔහු හදාරන ලද විෂයන් වූයේ සමාජ විද්‍යාව, සමාජ පර්යේෂණ, සංවර්ධණ සමාජ විද්‍යාව, සාමාජීය සංස්කෘතිය, සංයුක්ත සමාජ විද්‍යාව හා සමකාලීන සමාජ විද්‍යාව යි.

ඉන්දික බමුනුසිංහ ,සිය ශාස්ත්‍රපති උපාධියට සැකසූ නිබන්ධනය ‘ලංකාවේ සංවිධානාත්මක අපරාධ’ නමින් වේ.

මෙම නිබන්ධනය සැකසීම සඳහා ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 2.5ක්ලබාදුන් අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ඔහුට ලැප්ටොප් පරිඝණකයක්ද ලබා දෙන ලදි.
ශාස්ත්‍රපති උපාධියට ඔහුට අවශ්‍ය සටහන් ,ඔහුගේ ප්‍රිය බිරිඳ විශ්ව විද්‍යාලය තුළදී අදාල දේශනවලට සහභාගී වී එම දේශන පටිගතකර බන්ධනාගාර නීති රීතිවලට අනුව එම පටිගත කිරීම් ඔහු වෙත ලබා දීමෙන් සපුරාලන ලදි. බන්ධනාගාර කොමසාරිස් , පුනරුත්ථාපන හා නිපුනතා සංවර්ධන චන්දන ඒකනායක මහතාගේ උපදෙස් අනුව පුනරුත්ථාපන අංශය මගින් එම උපාධිය සඳහා අවශ්‍ය පොත්පත් පුද්ගලයන්ගෙන් ,පුස්තකාලයන් මගින් ලබා දීමටද,කටයුතු යොදා තිබිනි.

නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලක පාසලක අධ්‍යාපනය ලැබූ ඉන්දික ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරික්ෂකයකු ලෙස සේවයට එක්වූයේය. ඉන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධියට වසර 2012 දී ලියාපදිංචි වූවද දෛවයේ සරදමකට ඔහුට යන්නට වූයේ සිපිරිගෙදරටය.

සියාම් ඝාතන නඩුවේ විත්තිකරුවකුවී මරණ දණ්ඩනය හිමිවුණද සිරකුටියකට වි නිකරුනේ කාලය ගත නොකොට තම උපාධිය සම්පූර්ණ කරගන්නට ඔහු අදිටන් කර ගත්තේය.ඔහු වැලිකඩ හිරගෙදර චැපල් වාට්ටුවේ සිට අභියාචනයක්ද ඉදිරිපත් කළේ අනාගත බලාපොරොත්තු රැසක් ඇතිවය.

මේ ආ ගමනේදී ඉන්දිකගේශාස්ත්‍රවේදී මෙන්ම ශාස්ත්‍රපති උපාධියේ සෙවනැල්ල මෙන් සිටි බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන හා නිපුණතා සංවර්ධණ) චන්දන ඒකනායක මහතා දිනමිණට අදහස් දක්වමින් පැවැසුවේ ඉන්දික දැඩි ආත්ම ශක්තියකින් යුතු සිරකරුවකු බවයි.

‘ඔහු මරණ දණ්ඩනයට නියවුවෙක් වුවත් කිසිම විටෙක මා මැලවුණු මුහුණක් ඔහුගෙන් දුටුවේ නෑ. නිතරම සිනහවෙන් උද්යොගයෙන් කල් ගත කළා.නිතරම ඔහු හෙට දිනයක් ගැන බලාපොරොත්තු තබාගෙන ධනාත්මක අදහස් අප සමග පළකළා.උසස්අධ්‍යාපනයේ හිනිපෙත්තටම යන්න ඔහුට අවශ්‍ය බව මා සමග කීවා.ඒ කාලයේ මම වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා . මා එවකට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ව සිටි ධනසිංහ මහතාට ඒ බව දන්වා අවශ්‍ය සියලුම පහසුකම් ලබා දුන්නා.ඔහුට අවශය පාඩම් බන්ධනාගාරය තුළදී කියා දුන්නේ රැඳවියකු වන හේමන්ත ජයසිංහ . ආර්ථික විද්‍යා උපාධිධරයකු වූ ඔහු කථිකාචාරය වරයෙක්. මෙයට අමතරව උසස් අධ්‍යාපනය ලැබූ රැඳවියන්දඋදව් කළා.

ඔහුගේ මේ ගමන යන්නට වර්තමාන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විජයනාත් තෙන්නකෝන් මහතාත් ,වැලිකඩ බන්ධනාගාර අධිකාරි තුසිත උඩුවර මහතාත් නොමඳ සහයක් ලබා දුන්නා.
මම දන්නවා ඉන්දික හොඳ දැක්මක් ඇති අයෙක් .ඔහුගේ අභියාචනයේ තීන්දුව හෙට දිනයේ කුමක් වේදැයි මා දන්නේ නෑ.

නමුත් මා දකින්නේඔහු එල්ලා මැරීමට එල්ලුම්ගහ වෙත ගෙන ගියත් සිනහසී මරණයට මුහුණ දෙන ආත්ම ශක්තියෙන් යුතු කෙනකු ලෙසයි.’ චන්දන ඒකනායක මහතා ඉන්දික ගැන ඒ තක්සේරුව ලබා දුන්නේ මහත් අභිමානයෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *