ඒකක ගණන වැඩි ආයතන සදහා පුනර්ජනනීය බලශක්තිය

(කොළඹ, ලංකාපුවත්) – ඕනෑම ආයතනයක් ඒකක 2000 කට වැඩියෙන් විදුලිය පාවිච්චි කරනවානම්, එයින් 25% ක් සදහා පුනර්ජනනීය බලශක්තිය එකතුකළ යුතු බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා විසින් මෙම අදහස් පළකරන ලද්දේ, පසුගියදා බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේදී ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් සංවිධානය කරනු ලැබූ, පුනර්ජනනීය බලශක්ති ආයෝජන හමුවට සහභාගි වෙමිනි.

ආයෝජකයින් 400 ක් පමණ සහභාගිවූ මෙම හමුට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය බී.එස්.එස්. බටගොඩ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති රඛිත ජයවර්ධන, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.

එහිදී අදහස් දක්වමින් ඇමතිවරයා මෙසේ ද කියා සිටියේය.

“අද සමස්ත ලෝකයම පුනර්ජනනීය බලශක්තිය, හරිත බලශක්තිය සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වනවා. එය අපි ප්‍රායෝගිකව ඉදිරියට ගෙනයා යුතුයි. නමුත් එසේ ප්‍රායෝගිකව ඉදිරියට ගෙනයාමට බාධාවන් රාශියක් මතුවෙලා තිබෙනවා. මේ වනවිට අපේ ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 628ක් එකතු කරලා තිබෙනවා. මම විෂයභාර අමාත්‍යවරයා වූ දින සිට අද දක්වා කාලය තුළ මෙගාවොට් 01 බැගින් වූ ව්‍යාපෘති 126 කුත්, මාදුරුඔය ජලාශයේ පාවෙන සූර්ය විදුලි බලාගාරයෙන් මෙගාවොට් 100 කුත්, සුළං ටර්බයින් දෙකකුත්, තවත් මෙගාවෙට් 10 ව්‍යාපෘතිත් දෙකකුත් සම්බන්ධ කිරීමෙන් මෙගාවොට් 254 ක් සදහා අවසර දීලා තිබෙනවා.“

සූර්යබල සංග්‍රාමය තවත් ප්‍රචලිත කිරීමට අපි තවත් පියවරගන් කිහිපයක් ගැනීමට ක්‍රියා කරනවා. එන් එක් පියවරක් තමයි, ඕනෑම ආයතනයක් ඒකක 2000 කට වැඩියෙන් විදුලිය පාවිච්චි කරනවානම්, එයින් 25% ක් සදහා පුනර්ජනනීය බලශක්තිය එකතුකළ යුතුයි. මේ සදහා අදහස් ඉදිරිපත් කිරීමට අපි අවස්ථාව ලබාදෙනවා. වසර 2020– 2030 වනවිට එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයෙන් ගන්නා තීන්දු තීරණ අපි පමණක් නොවෙයි, සුර්ය විදුලිබල ආයෝජකයින්ද අපි සමග එකතුවෙලා, සාමුහිකව කටයුතු කිරීමෙන් ස්ථිරසාර විසදුමකට ගමන්කල යුතුයි යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *