ජවිපෙ විශ්වාසය පරාදයි – ආණ්ඩුවේ විශ්වාසය දිනුම්

(කොළඹ, ලංකාපුවත්) –ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී පරාජයට පත් විය.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඊයේ පැවති දෙවනවර විවාදය අවසානයේ සවස 6.00ට ඡන්ද පැවැත්වීම සිදු විය. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 92ක් සහ විපක්ෂව ඡන්ද 119ක් ලැබුණු අතර වැඩි ඡන්ද 27කින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත් විය.

මෙහිදී දෙමළ ජාතික සන්ධානය ඡන්ද විසීමේදී ආණ්ඩුව සමඟ එක්ව විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙමුණ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුවට එරෙහිව කරුණු 12කින් යුතුව මෙම විශ්වාසභංග යෝජනාව පෙරේදා (10) දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලැබිණි. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් යොමු කරන ප්‍රශ්න වටයෙන් පසුව විවාදයේ දෙවැනි දිනය ඊයේ ආරම්භ විය. ඡන්ද විමසීම සිදු වන අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙක් නොසිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *