මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයට Google transit විශේෂාංගය හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ වෙයි. ඒ ජාතික ගමනා ගමන කොමිසම් සභාවේ විසිපස්වැනි සංවත්සරයේදී ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.

ගූගල් මැප් යනු ගූගල් සේවාව ලබා දෙන අන්තර්ජාල සිතියම් සේවාවකි. එම සිතියම් සේවාවෙන් දැනට Google traffic යන විශේෂාංගය ශ්‍රී ලංකාවට විවෘතව පවතී. එම Google traffic විශේෂාංගයෙන් පෞද්ගලික ප්‍රවාහන තොරතුරු සහ පෞද්ගලික ප්‍රවාහනය සඳහා ස්ථාන සහ මාර්ග සිතියම් තොරතුරු සපයයි. නමුත් ගූගල් මැප්හි පොදු ප්‍රවාහන සේවාවේ තොරතුරු ලබා දෙන Google transit විශේෂාංගය තවමත් ශ්‍රී ලංකාවට විවෘතව නොමැත.

ජාතික ගමනා ගමන කොමිසම් සභාවේ විසිපස්වැනි සංවත්සර උත්සවයේදී අද (12) සිදු කෙරුණේ එම Google transit විශේෂාංගය මෙරටට සක්‍රීය කර ගැනීම සඳහා අතවශ්‍ය වන දත්ත සමූහය ගූගල් ආයතනයට නිල වශයෙන් යොමු කිරීමයි. ඉදිරි දින කිහිපයේදී ගූගල් ආයතනය විසින් එකී දත්ත නිරීක්ෂණය කර අන්තර්ජාලයට මුදා හැරෙනු ඇති බවත් ඒ අනුව ඉතා ඉක්මනින් Google transit විශේෂාංගයෙන් ‍තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව මෙරට පොදු ජනතාවට උදා වන බවත් එම ව්‍යාපෘතියේ ‍භාරකරු, මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන ඉංජිනේරු අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා පවසයි.

“මෙම සේවාව යටතේ ඔබට පොදු ප්‍රවාහනයේ තොරතුරු විශාල වපසරියකින් ලබා ගැනීමේ අවස්ථාව උදා වනවා. උදාහරණයකට ඔබට නාරාහේන්පිට පිහිටි ජාතික ගමනාගමන කොමිසම් සභාවේ සිට අනුරාධපුරය දක්වා ගමන් කිරීමට අවශ්‍ය යැයි සිතමු. එවිට මෙම Google transit විශේෂාංගයෙන් පොදු ප්‍රවාහනය භාවිත කර එනම් දුම්රිය සහ බස්රථ මඟින් අනුරාධපුරයට යා හැකි ආකාරය සිතියම්ගතව පෙන්නුම් කරනවා. ගමනට ගතවන කාලය, බස්රථ නවත්වන ස්ථානය, පයින් යායුතු තැන්, දුම්රිය නැඟිය හැකි තැන් ආදි වශයෙන් තොරතුරු රැසක් එයින් ලබා ගත හැකියි. ඇත්තටම මෙම විශේෂාංගය දැනටමත් ජපානය, චීනය වැනි රටවල ක්‍රියාත්මක වනවා. ඉදිරි සති කිහිපයේදී අපේ රටෙත් මෙම විශේෂාංගය සක්‍රිය වනවා. එය ප්‍රවාහනයේ තොරතුරු විප්ලවයක් යැයි අපට හඳුන්වා දෙන්න පුළුවන්…”යිද ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා පැවසීය.

Google transit විශේෂාංගයෙන් මුල් අවස්ථා‍වේදී තොරතුරු ලබා ගැනීමට හැකි වන්නේ බස්නාහිර පළාතේදී පමණි. දෙවැනි අදියරේදී සෙසු පළාත් දක්වා ව්‍යාප්ත කෙරේ. දුම්රිය, අන්තර් පළාත් බස්රථ සහ පළාත් සභා බස්රථ පිළිබඳ ‍තොරතුරු එයින් ආවරණය කෙරෙයි. දුම්රිය රතු පැහැයෙන්ද අන්තර්පළාත් බස්රථ නිල් පැහයෙන්ද පළාත් සභා බස්රථ කොළ පැහැයෙන්ද සිතියමේ දැක්වෙයි. ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා පවසන්නේ මුල් අවස්ථාවේදී කාල සටහන් ගත තොරතුරු පමණක් එම Google transit විශේෂාංගයෙන් ලබා ගැනීමට හැකි වුණත් පසුව GPS තාක්ෂණය යොදා ගනිමින් සජීවි තොරතුරු මෙම විශේෂාංගයෙන් ලබා දීමට හැකි වනු ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බවද ප්‍රවාන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී සහතික කළේය.

“තාමත් බොහෝ අය ජාතික ගමනා ගමන කොමිසම් සභාව දෙස බලන්නේ බස්රථ සඳහා බලපත්‍ර ලබා දෙන ආයතනයක් ලෙස. නමුත් ජාතික ගමනා ගමන කොමිසම් සභාවෙන් විය යුත්තේ ලයිෂන් ලබා දීම නොමෙයි. මගේ පෞද්ගලික මතය නම් ජාතික ගමනා ගමන කොමිසම් සභාව කළ යුත්තේ බස්රථ නියාමනය පමණයි. එතැනට ජාතික ගමනා ගමන කොමිසම් සභාව ගෙන යාමට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට අපි ඉදිරියේදී අපේක්ෂා කරනවා. ඒ වගේම Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමට මුල පිරීමට හැකි වීම ගැනත් මම සතුටු වනවා. එයින් පොදු ප්‍රවාහනයට මෙරට ජනතාව ආකර්ෂණය වීමේ ප්‍රවණතාව ඉහළ යනු ඇතැයි අපි විශ්වාස කරනවා. අද අපි මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වන්නේ පොදු ප්‍රවාහනයෙන් මහජනතාව ඈත් වීම. කෙසේනමුත් මේ වන විට නැවත වරක් පොදු ප්‍රවාහනයට මෙරට ජනතාව ආකර්ෂණය වන බව නවතම දත්ත පෙන්නුම් කරමින් තිබෙනවා. Google transit වැනි විශේෂාංග හඳුන්වා දීම මඟින් එය තවදුරටත් වර්ධනය කර ගත හැකි බව මම වි‍ශ්වාස කරනවා…”යි ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති, ජාතික ගමනාගමන කොමිසම් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි ඇතුළුව සම්භාවනීය අමුත්තෝ රැසක් එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *