සුරක්ෂා සිසු රක්ෂණයෙන් කෝටි 53කට වැඩි ප්‍රතිලාභ ගෙවයි

(කොළඹ, ලංකාපුවත්) –සියලුම ජාතික, පළාත්,පෞද්ගලික, ජාත්‍යන්තර පාසල් සහ පිරිවෙන් සිසුන් සඳහා වත්මන් රජය නොමිලේ ලබාදෙන සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙන් ඉකුත් 30 දා වනවිට රක්ෂණ ප්‍රතිලාභ හිමිකම් ලැබූ සංඛ්‍යාව 11740ක් වන අතර රුපියල් 532,976,108ක ප්‍රතිලාභ මුදලක් ගෙවා තිබේ.

එදාමෙදාතුර ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවේ සියලු ම පාසල් දරුවන් එකවර රක්ෂණය කරමින් ක්‍රියාත්මක වන සුරක්ෂා රක්ෂණ වැඩපිළිවෙළ මගින් දරුවන්ගේ රෝගාබාධ, හදිසි අනතුරු හා විපත් හමුවේ මවුපියන්ටත්, මවුපියන් අහිමිවීමක දී දරුවන්ටත් දරන්නට වන ආර්ථික පිරිවැය රජය පවරාගෙන සිටින අතර, රට පුරා විසිර සිටින, විවිධ ආර්ථික මට්ටම්වල පසුවන ඕනෑම මවුපියකුට දරුවන්ගේ අසනීප තත්තක්වයන් හමුවේ දෙවරක් නොසිතා අවශ්‍ය පූර්ණ ප්‍රතිකාර වෙත යොමුවන්නට ද මෙම රක්ෂණාවරණ වැඩපිළිවෙළ හරහා ඉඩප්‍රස්ථා සලසා තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයත් මේ වසරේ සුරක්ෂා රක්ෂණාවරණය ලබාදෙන අලියාන්ස් ඉන්ෂුරන්ස් ලංකා ලිමිටඩ් ආයතනයත් අතර එළඹ ඇති ගිවිසුම අනුව, රක්ෂණාවරණයට රජය වැයකරන මුදලින් 75%ක ප්‍රතිලාභ ප්‍රමාණයක් පාසල් දරුවන් වෙත ගෙවීමට යම් හෙයකින් අදාළ රක්ෂණ ආයතනය අපොහොසත් වුවහොත් එතෙක් ගෙවා ඇති මුදල් ප්‍රතිශතයේ සිට 75% ක් දක්වා වන මුදල රජයට පැවරෙන බවට කොන්දේසියක් ද ඇතුළත් කර තිබෙන හෙයින් රක්ෂණ ප්‍රතිලාභ දරුවන්ට ලබාදීම වෙනුවෙන් අදාළ ආයතනය දැඩි වගකීමකින් කටයුතු කිරීමට බැඳී සිටින බැවින් අලියාන්ස් රක්ෂණ සමාගම මේ වනවිටත් ඉතා කාර්යක්ෂම ව සහ සාර්ථකව රක්ෂණ ප්‍රතිලාභ දරුවන් වෙත ලබාදීමේ ක්‍රියාවලියට එක්ව සිටියි.

අවුරුදු 5-21 වයස් සීමාවේ පසුවන, පාසල් 11240 ක මිලියන 4.5කට ආසන්න සිසුන් සුරක්ෂා රක්ෂණයට හිමිකම් කියන අතර, රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර සඳහා රුපියල් 200,000ක් ද, බාහිර ප්‍රතිකාර සඳහා රු 20,000ක් ද, අසාධ්‍ය රෝග ප්‍රතිකාර සඳහා රුපියල් 200,000 සිට අවශ්‍යතාව අනුව ඒ සඳහා වැයවන මුලු මුදල ද, පූර්ණ අකර්මණ්‍යතාවක දී රු 200,000ක් ද, අර්ධ අකර්මණ්‍යතාවක දී 150,000/- සිට රු 200,000ක් දක්වා ද මවුපිය වියෝවක දී එක් අයෙකුට රු 200,000 බැගින් දෙදෙනාටම ආවරණය ද, (පවුලේ සියලු දරුවන් සඳහා වෙන් වෙන් ව) ශිෂ්‍ය වියෝවක දී රු150,000 ක මුදලක් ද ප්‍රතිලාභ ලෙස පිරිනැමේ.

අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව, මෙවර සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ වැඩිකිරීමට සුවිශේෂී පියවර කිහිපයක් ගෙන ඇත. රජයේ රෝහල්ගතවන දිනකට ගෙවන මුදල රුපියල් 1000 සිට රුපියල් 3000 තෙක් වැඩිකිරීම, බාහිර ප්‍රතිකාර යටතේ ශ්‍රව්‍ය-දෘශ්‍ය උපකරණ, ඇස් කන්නාඩි වැනි උපකරණ ලබාගැනීමේ හැකියාව, විශේෂඥ වෛද්‍ය සේවා ගාස්තු ලබාගැනීමට හැකියාව, මුදල් ගෙවීමකින් තොරව රෝහල්ගතවීමේ හැකියාව සහ රුපියල් 200000 ඉක්මවන විට අමතරව වැඩිවන මුදල පමණක් දැරීමට අවස්ථාව, අසාධ්‍ය රෝග ආවරණය, රෝහල්ගතවීමට පෙර දින 7ක් සඳහා සහ රෝහලෙන් පිට වූ පසු දන 14ක් දක්වා බෙහෙත් ලබාගැනීමේ හැකියාව ද ලබා දීම ඒ අතර ප්‍රමුඛ වේ.

දෙමාපිය වියෝවක දී හදිසි අනතුරු මරණ සඳහා පමණක් ලබාදුන් රක්ෂණ ප්‍රතිලාභය ස්වභාවික මරණ හදිසි අනතුරු මරණ යන සියල්ල ආවරණය කරමින් ලබාදීම,(සියදිවි නසාගැනීම් වැනි නීතිවිරෝධී මරණ හැර) මානසික ආබාධ, පෝෂණ ගැටලු යන අවස්ථාවන් ද ආවරණය කිරීම ද මෙවර සුරක්ෂා රක්ෂණාවරණයේ තවත් විශේෂත්වයකි.

සුරක්ෂා රක්ෂණාවණ ප්‍රතිලාභ සඳහා අයදුම් කිරීමේ දී කළ යුතු වන්නේ, 0112369369 අංකයට හෝ 0113641555 අංකය ඇමතීම හෝ අලියාන්ස් ඉන්ෂුරන්ස් ආයතනයේ ශාඛාවකින් හෝ කලාප අධ්‍යාපන කාර්යාලයකින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමයි. 2018 දෙසැම්බර් 1 දින සිට පසුගිය කාලයට අදාළව මෙතෙක් ප්‍රතිලාභ ඉල්ලුම් කර නොමැති සිසුන්ට ද මේ සඳහා ඉල්ලුම් කළ හැකිය.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු www.moe.gov.lk අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් හෝ, පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල ලිපිනයෙන් හෝ, කළමනාකරු, සුරක්ෂා රක්ෂණාවරණය, අලියාන්ස් ඉන්ෂුරන්ස් ලංකා ලිමිටඩ් ආයතනය, නො 46/10, නවම් මාවත, කොළඔ -2 ලිපිනයෙන් ද ලබාගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *