රන්ජන්ගේ ප්‍රකාශයක් ගැන අගමැතිගෙන් ලිපියක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ විහාරස්ථානයන්හි වෙසෙන මහා සංඝරතනය ගැන මෑතක දී රාජ්‍ය අමාත්‍යවරයා විසින් දරණ ලද අදහස් පිළිබඳව අවධානය යොමු කරමින්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතු ලිපියක් මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහතා වෙත යවා තිබේ.

ඒ අනුව 2019 ජූලි 21 වන දිනට පෙර මහා සංඝරතනය ගැන දැක්වු අදහස් සම්බන්ධයෙන් ලිඛිත දැනුවත් කිරීමක් තමන්ට එවන ලෙස දන්වා තිබුණු බවද අගමැතිවරයා මෙම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත.

එම අදහස් පක්ෂ නායකත්වයේ හා පක්ෂයේ අදහස් සමඟ පරස්පර බවද අගමැතිවරයා එම ලිපියෙන් අවධාරණය කර තිබේ.

එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ,

රන්ජන් රාමනායක මහතා,
මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

හිතවත් රාජ්‍ය අමාත්‍යතුමෙනි,

ශ්‍රී ලංකාවේ විහාරස්ථානයන්හි වෙසෙන මහා සංඝරත්නය සම්බන්ධයෙන් මෑතකදී ඔබ දැක්වූ අදහස් පිළිබඳව මගේ දැඩි අවධානය යොමු වී ඇත.

මහා සංඝරත්නය විෂයයෙහි ඔබ දැක්වූ එකී අදහස් පිළිබඳව පැහැදිලි කිරීමක් 2019 ජූලි 21 වන දා ට පෙර මා වෙත ලිඛිතව යොමු කරන මෙන් මෙයින් දන්වා සිටිමි.

ඔබ පළ කර ඇති අදහස් පක්‍ෂ නායකත්වයේ හා පක්‍ෂයේ අදහස් සමග පරස්පර බවද මෙහිලා අවධාරණය කරනු කැමැත්තෙමි.

පාරම්පරිකව අප පවුලේ සාමාජික සාමාජිකාවන් බෞද්ධ විහාරස්ථාන හා සමීපව කටයුතු කරමින් ඒවා ගොඩනැංවීමට හා සංවර්ධනය කිරීමට දායකත්වය දැක්වූවෝ වෙති. කැළණිය රජමහා විහාරය, ගංගාරම විහාරය ප්‍රමුඛ විහාරස්ථාන ගණනාවක විහාරාධිපති ස්වාමීන්වහන්සේලා සහ අනෙකුත් ස්වාමීන්වහන්සේලා වෙත සිව්පසය සපයමින් ඔවුන්ගේ අධ්‍යයන හා ශාසනික කාර්යයන් සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙමින් සමීපව කටයුතු කරන්නෙමු.

එවැනි පසුබිමෙක ඔබේ ප්‍රකාශයේ සඳහන් කරුණු අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා වශයෙන් ද තරයේ ප්‍රතික්ෂේප කරන බවද අවධාරණය කරනු කැමැත්තෙමි.

මෙයට,

රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *