මාලිංග එක්දින පිටියෙන් සමු ගැනීම ස්ථීර කරයි

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 22ක් තෝරා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යවා ඇත. මෙම ක්‍රීඩකයන් තරග 3කින් සමන්විත බංග්ලාදේශය සමග එක්දින තරගාවලියේදී යොදා ගැනීමට අපේක්ෂා කරයි.

මේ එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්දින පිටියෙන් අනිවාර්යයෙන්ම සමුගැනීමට තීරණය කර ඇති අතර එය කුමන තරගයේදී සිදුවන්නේද යන්න තවමත් තීරණයවී නොමැත.

“මාලිංග මට පැවැසූවේ එක් තරගයක් ක්‍රීඩා කිරීමෙන් පසු එක්දින පිටියෙන් සමු ගැනීමට අවශ්‍ය බවයි. මේ තරගාවලියේ තරග තුනම ක්‍රීඩා කරන ලෙස මා ඔහුගෙන් ඉල්ලීමක් කළා. ඒ ගැන ඔහු අවසන් තීරණයක් දුන්නේ නෑ. අපට තව ටික දවසකින් හරියටම කියන්න පුලුවන් මාලිංගගේ සමුගැනීම වෙන්නේ කොහොමද කියලා. ඔහු අපට සිටින දක්ෂතම ක්‍රීඩකයෙක්. ඒ නිසයි තරග තුනම ක්‍රීඩා කරන ලෙස දැනුම් දුන්නේ“ තේරීම් කමිටු සභාපතිවරයාට සඳහන් කළේය.

ලසිත් මාලිංග මේ වන විට ඔස්ට්‍රේලියාවේ සිටින අතර මේ 21 වැනිදා යළි ශ්‍රී ලංකාවට පැමිණේ. ටෙස්ට් තරග 30කට හා එක්දින තරග 225කට සහභාගීවී ඇති ලසිත් මාලිංග ටෙස්ට් කඩුලු 101ක් ලබා සිටියදී 2010 වසරේදී ටෙස්ට් පිටියෙන් සමුගත්තේය. මාලිංග මේ වන විට එක්දින කඩුලු 335ක් දවාගෙන ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම තෙවැනි පන්දු යවන්නා බවට පත්ව සිටී.

බංග්ලාදේශ ක්‍රිකට් පිල මේ 23 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර පළමු එක්දින තරගය 26 දා, දෙවැනි එක්දින තරගය 28 දා හා අවසන් එක්දින තරගය 31 දා කොළඹ ආර්. ෙප්‍ර්මදාස ක්‍රීඩාංගණයේදී දිවා – රාත්‍රී තරග ලෙස පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *