තරාතිරම කුමක් වුවත් මහා සංඝරත්නයට අපහාස කිරීම දැඩිව ප්‍රතික්ෂේප කරනවා

(කොළඹ, ලංකාපුවත්) –කුමන තරාතිරමක අයකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන අතරම පිළිකුල් සහගතව බැහැර කරන බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පැළෑද රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද සර්වඥ ධාතු මන්දිරය, පුස්තකාලය සහ ධර්ම මන්දිරය සඝ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට ඊයේ(16) පස්වරුවේ එක් වෙමිනි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ මරණීය දණ්ඩනය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට වන සූදානම අප්‍රේල් 21 වනදා මහා විනාශයක් සිදු කරමින් 300කට ආසන්න අහිංසක ජනතාවගේ ජීවිත උදුරාගත් ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාවට අදාළ වගඋත්තරකරුවන්ට හිමිවිය යුතු දඬුවම වළක්වාලීමට ද ගන්නා උත්සාහයක් බව තමා විශ්වාස කරන බවයි.

මෙරට අපරාධ නීතියට අනුව මිනී මැරුමකට, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට මෙන්ම ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා ද වැරදිකරුවකු වුවහොත් මරණීය දණ්ඩය හිමිවන අතර මරණීය දණ්ඩය අහෝසි කිරීමට ආණ්ඩුවේ ඇතැම් පිරිස් ගන්නා උත්සහය තුළින් එම කිසිදු අපරාධකරුවකුට දඩුවම් ලබාදීමට නොහැකි වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මහබැංකු කොල්ලයට අදාළ සියලු වගඋත්තරකරුවන් ද මේ වන විට සොයාගෙන තිබෙන අතර, ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, රටින් පිට සිටින අයට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර ඇති අතරම, අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා තමා සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයා සමඟ පෞද්ගලිකවම සාකච්ඡා කර ඇති බවත්, එම සියලු පරික්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අප්‍රේල් 21දා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සෑම අයෙක්ම මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඒ අයට විරුද්ධව පරික්ෂණ අඛණ්ඩව සිදුවන බවත්, ඔවුන්ට එරෙහිව පැහැදිළි සාක්ෂි තිබෙන අතර නීති පොතට අනුව ඔවුන්ට ද මරණීය දණ්ඩනය හිමි විය යුතු බවයි.

සමාජයක් යහපත් කිරීමට රාජ්‍ය පාලනය තුළ දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු අතර දණ්ඩනයට බිය විම තුළින් සමාජය තුළ වැරදි අවම වී යහපත් සමාජයක් සහ රටක් ගොඩනැගෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඊයේ පස්වරුවේ පැළෑද රජමහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා පළමුව ආගමික වතාවත්වල නිරතවී ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව ඉදිකිරීම් විවෘත කළ ජනාධිපතිවරයා ඒවා නිරික්ෂණය කිරීමට ද එක් විය.

පැළෑද රජමහා විහාරාධිපති, පාලින්දනුවර ප්‍රධාන සංඝනායක දේවමුල්ලේ කල්‍යාණවංශ නායක හිමිපාණන් වහන්සේ වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර උන්වහන්සේ ද ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

නව ඉදිකිරීම් සඝ සතු කොට පූජා කිරීමට අදාළ සන්නස් පත්‍රය ජනාධිපතිවරයා විසින් කල්‍යාණ සාමග්‍රී සංඝ සභාවේ කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ වෙත පූජා කළේය. පිඹුරේ උදිත මහා නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු මැති ඇමැතිවරු පිරිසක් ද, දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *