මතින් නිදහස් රටකට සිවිල් ආරක්ෂක බළකායෙන් මෙහෙයුමක්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ‘මතින් නිදහස් රටක්’ වැඩසටහනට සමගාමීව, සිවිල් ආරක්ෂක බළකාය මඟින් රට පුරා මතට ගොදුරු වූ පුද්ගලයන් මුදා ගැනීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළට බළකා මට්ටමින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළු සහ මනෝ විද්‍යාත්මක වැඩමුළු, දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ මානසික සංවර්ධනය ඇති කිරීමේ වැඩසටහන් ආදිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. සියලු සිවිල් බළකාස්ථානයන්හි මෙම වර්ෂයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළු විශාල ප්‍රමාණයක් පවත්වමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදා ගැනීමද මෙම වැඩසටහන් මඟින් සිදු කෙරේ.

එසේම සියලුම බළකා ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන පිහිටුවීම, මත්ද්‍රව්‍ය උපදේශකයන් සඳහා ප්‍රගති සමාලෝචන වැඩමුළු පැවැත්වීම, වීදි නාට්‍ය දර්ශන, මත්ද්‍රව්‍ය විරෝධී බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් හා අත්පත්‍රිකා බෙදා හරිමින් මහජනතාව දැනුවත් කිරීම ආදී කටයුතුද සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *