පාස්කු ප්‍රහාරය පිළිබඳ ස්වාධීන වාර්තාවක් ලබා දෙන්න

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා මෙරට දේවස්ථාන තුනක ඇති වූ සිද්ධි පිළිබඳ කමිටු පත්කර ඒ ගැන අදාළ වාර්තා නිකුත් කළ බව ප්‍රකාශ කර තිබුණා. එවැනි වාර්තා තමන්ට නොලැබුණු බවත් ඉදිරියේදී ස්වාධීන කමිටුවක් පත්කර වාර්තාවක් නිකුත් කරන ලෙස තමා රටේ වගකිවයුතු නායකයන්ගෙන් ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා ඉල්ලා සිටියෝය.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ අන්තවාදී කල්ලියක පුද්ගලයකු බෝම්බ පුපුරවා ගැනීමේ සිද්ධියට ඊයේ (21) තෙමසක් පිරීම නිමිත්තෙන් එම දේවස්ථානයේ පැවැති ආගමික වතාවත් මෙන්ම දේවස්ථානයේ දකුණු පස ඉදිකර තිබූ තෙමස් දානමය පිංකම විවෘත කිරීමට එක් වෙමිනි.

මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අසලදී පිළිගනු ලැබුවේ කතෝලික පූජක තුමන්ලා ඇතුළු ශාන්ත අන්තෝනි දායක සභාව හා එම අවස්තාවට සහභාගි වී සිටි ජනතාව විසිනි.

අනතුරුව උන්වහන්සේ දේවස්ථානයේ වම්පස පිහිටි විශේෂ කුටිය වෙත ගොස් ඉටිපන්දමක් දල්වා ජීවිත පරිත්‍යාග කළ අය සිහිපත් කළහ.

ඉන්පසු දේවස්ථානයේ දකුණු පස භූමියේ ඉදිකර තිබූ තාවකාලික දන්සල නිරීක්ෂණය කළහ.

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටියේ මෙම පාස්කු දිනයේදී කොළඹ කොච්චිකඩේ, මීගමුව, කටුවාපිටිය, මඩකලපුව යන ප්‍රදේශවල කිතුනු දේවස්ථාන තුනක් අන්තවාදීන් පිරිසකගේ කුමන්ත්‍රණයාරී වැඩපිළිවෙලකින් විනාශ වී ගිය බවය.

නමුත් මෙවැනි දෙයක් ඉදිරි කාලයේදී ඇති නොවීම සඳහා රජයේ බුද්ධි අංශ , ආරක්ෂක අංශ ක්‍රියා කළ යුතුයි. පහළට ලැබෙන පණිවිඩ වහාම ඉහළට ඇතුළු අංශවලටත් ප්‍රධාන වශයෙන් දැන්විය යුතුයි.

ඉදිරියේදී ජාතික සමගියත් සංහිදියාවත් ඇතිකිරීමට ක්‍රියා කළ යුතු වන්නේ අපි සියලු ජාතීන්ගේ එක්සත් එක්සත්කම තුළිනි. අප රටේ බුද්ධි අංශයේ කටයුතු අඩපණ කරනු ලබන්නේ පිටස්තර ජාත්‍යන්තර අන්තවාදීන් විසිනි. මෙම බෝම්බ පිපිරවීමේ සිද්ධියට මෝඩ තරුණයන් පිරිසක් සහභාගිකරවා ගෙන ඔවුන්ව විශාල ලෙස රවටා නොමඟ යවමින් තමයි අන්තවාදීන් කටයුතු කර තිබෙන්නෙ.

බුද්ධි අංශවලින් හරියට කටයුතු නොකළහොත් අනාගතයේදී ජාතීන් අතර තිබෙන සමගිය බිඳවැටී වෙනත් වෙනත් දේවල් සිදුවීමට ඉඩ තිබෙනවා. මේවට අප ඉඩදිය යුතු නැහැ.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා දායකත්වය දැක්වූ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික ඇමති සජිත් ප්‍රේමදාස, වරාය ඇමති සාගල රත්නායක මහත්වරුද‍ කොළඹ පුරපතිනි රෝසි සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාටත් , යුද හමුදාවට, ගුවන් හමුදාවට , ශ්‍රී ලංකා පොලිසියටත් සිවිල් ආරක්ෂක බලකායටත් අපගේ භක්ති ප්‍රණාමය පුදකර සිටිනවා.

ඒ වගේම මෙම සිද්ධීන් වලින් මියගිය අය සිහිපත් කරන අතර තුවාල ලැබූ පවුල්වල සාමාජික සාමාජිකාවන්ටත් ඉක්මන් සුවය පතනවා. එම අනතුරුවලින් මෙතෙක් වේදනා විඳිමින් සිටින්නන් පමණක් නොව අප සැවොම එම වේදනාවන් බෙදා ගන්නවා. ඒ සඳහා කිසිවකු ඔබ කවුරුත් තනිකරන්නේ නැහැ. ඔබ වෙනුවෙන් අනුකම්පා කරනවා. මුස්ලිම් සැමදෙනාගෙන්ද එසේ ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් උතුමාණෝ ඉල්ලා සිටියෝය.

මේ අවස්ථාවට කතෝලික පියතුමන්ලා, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික ඇමති සජිත් ප්‍රේමදාස, ජලනී ප්‍රේමදාස, බස්නාහිර පළාත් සභාවේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්ත්‍රී ජෝර්ජ් පෙරේරා, කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් වන රෝයි යර්ඩ්ලි ප්‍රනාන්දු , අනුර සුජීව කුමාර , තුෂාර හේමන්ත(මංජු) හිටපු නාගරික මන්ත්‍රී මොහමඩ් ෂියාම්, කාදිනල් තුමාගේ පෞද්ගලික ලේකම් අයිවන් විදානආරච්චි ඇතුළු මහත්ම මහත්මීහු රැසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + eighteen =