වැස්ස සහ නියඟය 8ක් මරුට ලක්ෂ පහමාරකට පීඩා

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් තවත් 4 දෙනකු අතුරුදන් වී ඇති බවත් ඒ හේතුවෙන් පවුල් 163,988ක පුද්ගලයන් 583,181ක් අවතැන්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (21) නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවේ සඳහන් වේ.

මේ අතරින් වර්ෂාව හේතුවෙන් පවුල් 1,314 අයත් පුද්ගලයන් 5,200 දෙනෙකු පීඩාවට පත්ව ඇති එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

එසේම තද සුළං සහ මුහුදේ රළු ස්වභාවය නිසා මන්නාරම සිට පොතුවිල් දක්වා මුහුදු කලාපයේ ධීවර කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ඒ අනුව මෙම මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40-50 දක්වා වූ තද සුළං ඇති විය හැකිය. එබැවින් මෙම මුහුදු කලාපයේ ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ධීවර හා නාවුක ප්‍රජාවට අවවාද කර ඇත. එමෙන්ම ධීවර කටයුතු සඳහා ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයට ගිය ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රා 20ක සිටි ධීවරයන් 100කට අධික පිරිසක් අයහපත් කාලගුණයට මැදිව මාලදිවයිනට ආසන්න ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ අතරමංව සිටියදී මාලදිවයිනට ළඟාවීමට අවසර ලබා දී ඇත. එම යාත්‍රා 20න් 14ක් හලාවත ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් ඇති අතර, තවත් බහුදින ධීවර යාත්‍රා 06ක් වෙන්නප්පුව ප්‍රදේශයෙන් මුහුදු ගොස් ඇති බවට ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයට වාර්තා වී තිබේ. මෙයට අමතරව ඉන්දියාවෙන්ද එවැනි අවසරයක් ශ්‍රී ලංකික ධීවරයන් වෙනුවෙන් ලබා ගැනීමට කටයුතු කෙරිණ. එසේම රූමස්සල කඳුවැටිය අසලදී අධික සුළං තත්ත්වය සහ මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන් නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් රූමස්සල කඳුවැටියේ ගැටී අනතුරට ලක්ව තිබේ. මුහුදේ පැවති රළු ස්වාභාවය හේතුවෙන් නෞකාව මුදා ගැනීමට නොහැකි වී ඇති අතර නෞකාවෙන් තෙල් වහනය වීම පාලනය කිරීම සඳහා එහි තෙල් ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් පවති.

දිවයිනේ නිරිත දිග කොටසේ විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ දැනට පවතින වැසි හා සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවත් මිලිමීටර් 50 ඉක්මවූ වර්ෂාවක් මෙම ප්‍රදේශ ආශ්‍රිතව බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. කළු ගංගා ධාරා ප්‍රදේශයට මේ වන විට ලැබෙමින් පවතින වර්ෂාපතනය හේතුවෙන් කළු ගඟෙහි ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතී. පසුගිය පැය විසිහතරක කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ලට මිලිමීටර් 59ක්ද, පලාබද්දල ප්‍රදේශයට මිලිමීටර් 99ක්ද, ගිලීමලේ ප්‍රදේශයට මිලිමීටර් 92ක් සහ කුඩා වැව ප්‍රදේශයට මිලිමීටර් 172ක වර්ෂාපතනයක්ද වාර්තා වී ඇත.

පවතින අධික වැසි තත්ත්වය මත ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර ඇත. එම අනතුරු ඇඟවීම් කාලසීමාව තුළ නායයෑම් ලක්ෂණ දක්නට ලැබේ නම් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ වාන් දොරටු 02ක් විවෘත කළ බව කාර්යභාර ඉංජිනේරු මහතා දැනුම් දුන්නේය.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ හානි වූ නිවාස 55ක්ද අර්ධ හානි වූ නිවාස 1,527ක්ද මේ වන විට වාර්තා වී තිබේ. ආපදාවේ ස්වරූපය ඇස්තමේන්තු කිරීමෙන් අනතුරුව රුපියල් 10,000ක මූලික වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබේ. එසේම ආපදාව හේතුවෙන් විපතට පත් වූ පවුල් 108ක පුද්ගලයන් 443ක් ආරක්ෂිත ස්ථාන 15ක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *