එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා-2 ප්‍රදර්ශනය හෙට ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – රජරටින් ව්‍යවසායකයන් විසිදහසක් බිහි කිරීමේ ඉලක්කය සහිතව දෙවැනි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය හෙට(24) සිට දින හතරක් අනුරාධපුරය වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

වසර 2018 මොණරාගලින් ආරම්භ කළ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ දෙවැන්න මෙවර අනුරාධපුරයේ දී පැවැත්වෙනුයේ ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දියුණුවේ පුරෝගාමී පුරවරයට’ තේමාව යටතේ බවද රාජ්‍ය ඇමැතිවරයා කීය. කොළඹ කොටුව පිහිටි මුදල් අමාත්‍යාංශයේ ඊයේ(22) පැවති විශේෂ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඉරාන් වික්‍රමරත්න මහතා මේ බව කියා සිටියේය.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය දියුණු කිරීමයි. අපේ රටේ ශ්‍රම බළකායේ ප්‍රතිශතයක් ලෙස ව්‍යවසායකයන් ප්‍රමාණය ගත් විට එය ඉතාම පහළ අගයක් ගන්නා ඉලක්කමකි. එය සියයට 3යි. නමුත් ලෝකයේ දියුණු, බලවත්, විශාල රටවල ව්‍යවසායකත්වය එහි අගය ඉහළය. බංග්ලාදේශයේ සියයට 17 – 18කි. චීනයේ මීටත් වැඩියි. වියට්නාමයේ ඉන්දියාවේත් වැඩියි. අපේ අරමුණ ඉදිරි අවුරුදු දෙක- තුනේ දී මේ සංඛ්‍යාව අඩුම තරමේ දෙගුණයක් කිරීමයි.

මෙවර ප්‍රදර්ශනයට මොනරාගලට වඩා වැඩි පිරිසක් වැඩි ප්‍රදර්ශකයන් පිරිසක් එක් වෙති. මොණරාගල පළමු ප්‍රදර්ශනයට ප්‍රදර්ශකයෝ 241ක්, ප්‍රදර්ශන කුටි 640ක් ඉදිරිපත් කොට තිබුණි. එය බලන්න ලක්ෂ 5ක් පැමිණියා. මොනරාගල දිස්ත්‍රික්කයේ මාර්ග වැව් අමුණු හා පොදු යටිතල පහසුකම් දියුණු කිරීමත් මේ ප්‍රදර්ශනයට සමගාමිව අප සිදු කළා. ඒ වාගේම අනුරාධපුරයේ දිස්ත්‍රික්කයේත් අපි විශාල සංවර්ධනයක් සිදු කරනවා.

ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන අයට නව ව්‍යවසායකයන් ලෙස ඉදිරියට ඒමට අවශ්‍ය සියලු සේවා මෙහිදී ලබා දෙයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය, නියෝජ්‍ය ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මහලේකම් කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී එම්.ටී. පෙරේරා යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 3 =