මහනුවර ඇසළ පෙරහැරේ මහජන ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක්

(කොළඹ, ලංකාපුවත්) –අගෝස්තු 02 වැනිදා ආරම්භ වීමට නියමිත මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් සියලු කටයුතු මේ වන විට සූදානම්ව ඇති බවත් මෙවර පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ මහජන ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරමින් පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව සමඟ එක්ව විශේෂ වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා පවසයි.

අගෝස්තු 02 වැනිදා අලුයම සිවුමහා දේවාල කේන්ද්‍ර කරගනිමින් කප් සිටුවීම සිදු කෙරෙන අතර අගෝස්තු 02 වැනිදා සිට 04 වැනිදා දක්වා අභ්‍යන්තර දේවාලයන්හි පෙරහැර 05ක් වීදි සංචාරය කිරීමට නියමිතය. අගෝස්තු 05 වැනිදා පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කෙරෙන අතර අගෝස්තු 05 වැනිදා සිට 09 වැනිදා දක්වා පුරා දින 05ක් කුඹල් පෙරහැර 05ක් වීදි සංචාරය කිරීමට නියමිතය.

අගෝස්තු 14 වැනිදා අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වේ. රන්දෝලි පෙරහැර 05ක් අගෝස්තු 10 වැනිදා සිට 14 වැනිදා දක්වාද, අගෝස්තු 15 වැනිදා දිවා පෙරහැරද පැවැත්වේ. අගෝස්තු 15 වැනිදා අලුයම දිය කැපීමේ මංගල්‍යය සිවුමහා දේවාල කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙනු ඇත.

සියලුම පෙරහැර වීදි සංචාරය කිරීමට පෙර නරඹන්නන් පරීක්ෂා කර බලා ආරක්ෂාව තහවුරු කරගත් පසු පෙරහැර වීදිවලට ප්‍රවේශ කරන බවත් නරඹන්නන්ගේ සනීපාරක්ෂක කටයුතු සහ සුව පහසුව වෙනුවෙන්ද පියවර රැසක් ගෙන ඇති බවත් නිළමේවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

වෙනදා මෙන්ම මෙවරද ඇසළ පෙරහැර නර්තන කණ්ඩායම්වලින් සහ අලි ඇතුන්ගෙන් විචිත්‍රවත්ව, අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *