ළමා නිවාසවල දරුවන්ට ආසන්නතම ජාතික පාසල

(කොළඹ, ලංකාපුවත්) –රජයේ ලියාපදිංචි සියලුම ළමා නිවාසවල දරුවන්ට ආසන්නතම ජාතික පාසලට ඇතුළුවීමට අවස්ථාව ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව රජයේ ලියාපදිංචි වී ඇති සියලුම ළමා නිවාසවල සිටින මව්පියන් අහිමි දරුවන්ට අදාළ ළමා නිවාසවලට ආසන්නයේ ම පිහිටා ඇති ජාතික පාසලට ඇතුළත් වීමට අවස්ථාව මින් සැලසෙනු ඇත.

අමාත්‍යවරයා මේ උපදෙස් ලබා දී ඇත්තේ, ජනප්‍රිය පාසලක විදුහල්පතිනියක් විසින් පසුගිය දා ළමා නිවාසයක දරුවන් කිහිප දෙනෙකු එම ජාතික පාසලට ඇතුළත්වීමට අයදුම් කළ අවස්ථාවේ දී, පාසලටත් විදුහල්පතිනිය වශයෙන් තමාගේත් කීර්ති නාමයට හානි වන බව පවසමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ ව අමාත්‍යවරයා වෙත තොරතුරක් සැළවීමත් සමඟිනි.

දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමට 2015 වසරේ සිට විවිධ ප්‍රගතිශීලී වැඩසටහන් ක්‍රියාත්මක කර තිබිය දීත්, මව්පියන් අහිමි දරුවන්ට වෙනස් කොට සැලකීම දැඩි ලෙස හෙළා දකින බව අමාත්‍යවරයා පවසයි.

අධ්‍යාපනයට හිතැති සියලු දෙනා කළ යුත්තේ දරුවන්ට අධ්‍යාපනයෙන් ජීවිතය ජය ගැනීමේ අවස්ථා විවර කරදීම බවත් මෙහි දී අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *