මාලිංගගේ සමුගැනීමේ සාදය අද

(කොළඹ, ලංකාපුවත්) –සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංගගේ සමුගැනීමේ සාදය වශයෙන් බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරගය අද (26) දිවා රාත්‍රී තරගයක් වශයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙයි.

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු එක්දින තරගය වන්නේද එයය. උපරිම ආරක්ෂක විධිවිධාන යටතේ පැවැත්වෙන මෙම තරගයේ සාක්ෂිකරුවන්වීම සඳහා ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් සහභාගිවීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ තරගයේ සියලු ප්‍රවේශපත් විකිණී අවසන් බවයි.

මේ වනවිට තම එක්දින තරග ජීවිතය පුරා කඩුලු 335ක් දවාගෙන ඇති මාලිංග ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින කඩුලු හිමිකරගත් තෙවැනි පන්දුයවන්නා වශයෙන් සැලකෙයි. ඔහුට ඉදිරියෙන් මුත්තයියා මුරලිදරන් (523) හා චමින්ද වාස් (399) ස්ථානගතව ඇත. තමන් සහභාගිවන අවසන් තරගයේදී කඩුලු තුනක් දවාගැනීමට ඔහු සමත් වන්නේ නම් ජගත් එක්දින පිටියේ වැඩිම කඩුලු ලාභීන් අතර නව වැනියා බවට පත්වන්නට මාලිංගට අවස්ථාව උදාවනු ඇත. ඒ අනිල් කුම්බ්ලේගේ වාර්තාව තමන් සතු කරගනිමිනි.

අද තරගයේදී ශෙහාන් ජයසූරිය, ළහිරු කුමාර සහ වනිඳු හසරංග කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඇති අවස්ථා ඉහළගොස් ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායම් ආරංචි මාර්ග පැවසීය. ශෙහාන් අර්ධ කාලීන පිට දඟපන්දුයවන්නකු වශයෙන් ක්‍රීඩා කිරීමත් වනිඳු හසරංග පුහුණු තරගයේදී පිත්තෙන් දස්කම් දැක්වීම මෙන්ම පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක ළහිරු කුමාර කඩුලු ලබාගැනීමත් ඔවුන්ට මේ සඳහා අවකාශ සලසනු ඇත. මේ අතර ශ්‍රී ලංකා පිලේ සිටින වඩාත් පරිණත දඟ පන්දුයවන්නා ලෙස ක්‍රීඩා කරනු ඇත්තේ අකිල ධනංජයයි. පුහුණු තරගයේදී කඩුලු ලබා නොගත් බව කියමින් අමිල අපෝන්සු අවසන් සංචිතයට කැඳවා නොමැත.

තරගය සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේ මෙම තරගය එක්දින පිටියෙන් සමුගන්නා ලසිත් මාලිංගට උපරිම ගෞරවයක් ප්‍රදානය කිරීම වෙනුවෙන් ජයගැනීමට අපේක්ෂා කරන බවයි. මෙම තරගයේදී පිතිකරුවන්ගේ පෙරපෙළ මෙන්ම මැද පෙළද ලකුණු අතරට පිවිස පන්දුයවන්නගේ රාජකාරි පහසුකිරීමට කටයුතු කරනු ඇති බව ඔහු ඊයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් ප්‍රකාශ කළේය. ‘ලෝක කුසලානයේදී අපි තරමක් හොඳින් ක්‍රීඩා කළා. තවත් වෙලාවෙදි ක්‍රීඩා කළ විධිහ හොඳ නෑ. අපිට තරගයක ප්‍රතිවාදී ඉනිම මැද කඩුලු දවා ගන්න හැකි පන්දුයවන්නන් සොයාගත යුතුයි.

ඒ වගේම තමයි මුල් පන්දුවාර වලදීත් එසේ කඩුලු ගන්න අවශ්‍යයි. ඒවා තමයි අපි වැඩිදියුණු කරගත යුත්තේ. අපිට ඉතා හොඳ තරුණ ක්‍රීඩකයන් අවශ්‍ය වෙනවා. අපි කණ්ඩායමට එක්කරගන්න දක්ෂ තරුණ ක්‍රීඩකයන් ලබන ලෝක කුසලානය දක්වා පුහුණු කළ යුතු වෙනවා’ යැයි පැවසීය.

සංචාරක බංග්ලාදේශ පිල පවසන්නේ තමන්ගේ ප්‍රබල ක්‍රීඩකයන් නොමැතිව වුවද අද තරගය ජයගැනීමට අපේක්ෂා කරන බවයි. රට තුළ පවතින ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් අතිශය සතුටට පත්වන බවත් ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවත් බංග්ලාදේශ ක්‍රිකට් නායකයා ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 3 =