පාසල් සඳහා රොබෝ තාක්ෂණ උපකරණ

(කොළඹ, ලංකාපුවත්) –වැඩ ලෝකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් නිර්මානය කිරීමට හැකි වී ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඒ තුළින් රැකියා විරහිත ප්‍රතිශතයද අඩුවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ ලෝකයේ නව තාක්ෂණ ප්‍රවණතා ශ්‍රී ලංකාවේ දරුවන් වෙත හඳුන්වා දෙමින් රොබෝ තාක්ෂණය පාසල් දරුවන් අතර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළේ පළමු අදියර සඳහා තෝරාගත් පාසල් 87ක් වෙත රොබෝ තාක්ෂණ උපකරණ කට්ටල බෙදාදීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (29) පැවති උත්සවයේදී ය.

නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් හරහා විදේශ විනිමය සෙවීමට ඉදිරියේ දී සූදානම් විය යුතු බවද ඇමැතිවරයා එහිදී පැවසීය. කියුබාව ලෝකයටම වෛද්‍යවරුන් සපයන බවත්, බැංගලෝර්වල සිටින තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් මුළු ලොවටම සිය සේවාව සපයන බවත්, පිලිපීනය නැවියන්, හෙදියන් පිටරටවලට සපයන බවත් පැවසූ ඇමැතිවරයා, අපට ඇති වටිනාම සම්පත මානව සම්පත බැවින් එය නිසියාකාරව සංවර්ධනය කිරීමට අධ්‍යාපනය යොදා ගත යුතු බවත් අවධාරණය කළේය.

මෑතකාලීනව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විශාල වැඩකොටසක් ඉටුකිරීමට හැකි වූ බවද, භෞතික සම්පත් සංවර්ධනයට මෙන්ම මානව සම්පත් සංවර්ධනයට ඒ තුළ විශේෂ අවධානය යොමුකරන ලද බවද සඳහන් කළේය. එසේම, තවත් නොබෝ දිනකින් උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන් වෙත ටැබ් පරිගණක ලබාදෙමින් ඉගෙනුම් ක්‍රියාවලියට තාක්ෂණය සෘජුව සහාය කර ගැනීමට අවස්ථාව සලසා දෙන බව ද ඇමැතිවරයා පැවසීය. සාමාන්‍ය පෙළ අසමත් සියලු දරුවන්ට අනාගතයක් ඇතිකරමින් උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට අවස්ථාව ලබාදුන් බව ද කීය.

රොබෝ තාක්ෂණය පාසල් වෙත හඳුන්වා දෙමින් අනාගත වැඩ ලෝකය හා බද්ධ විය හැකි වෘත්තීය නිපුනතාවන්ගෙන් පිරුණු සිසු පරපුරක් නිර්මාණය කිරීම සහස්‍ර සංවර්ධන අරමුණු අතර පවතින ප්‍රධාන අරමුණකි. රොබෝ තාක්ෂණය හඳුන්වාදීමේ මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ දිවයිනේ තෝරාගත් පාසල් 87කට රොබෝ තාක්ෂණ ප්‍රායෝගික ක්‍රියාකාරකම් පුහුණුවීමට අවශ්‍ය උපකරණ කට්ටල මෙදින ලබාදුන් අතර, 2020 වසර වනවිට දිවයිනේ සියලු ම පාසල් තුළ මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

එමෙන්ම නව තාක්ෂණ ප්‍රවණතා පිළිබඳ පාසල් දරුවන් අතර දැනුම ප්‍රචලිත කරවීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට සමස්ත ලංකා රොබෝ තාක්ෂණ තරගාවලියක් ද සංවිධානය කර තිබේ.

මීට අමතරව, උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාවේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදුකරන විභාග මධ්‍යස්ථාන සඳහා අතිරේක උපකරණ කට්ටල බෙදාහැරීමේ ප්‍රසම්පාදන කටයුතු ද මේ වනවිට ආරම්භකර ඇති අතර, 2019 වසරේ මේ උපකරණ අදාළ විභාග මධ්‍යස්ථාන වෙත බෙදාහැරීමට ද මේ වනවිට සියලු කටයුතු සූදානම්ව පවතී. අධ්‍යාපන අමාත්‍යාංශය ඒ වෙනුවෙන් රුපියල් මිලියන 419ක් වැය කර ඇත.

මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති OFID ව්‍යාපෘතිය යටතේ ඉදිරියේ දී දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම දෙකක් බැගින් වන සේ තාක්ෂණ පීඨ 50ක් ඉදිකිරීමට පියවර ගැනේ. එමෙන්ම විෂය උපකරණ, ලීබඩු ඇතුළු අනෙකුත් සම්පත් සංවර්ධනයට පියවර රැසක් ක්‍රියාවට නංවනු ලැබේ. ශ්‍රී ලංකා රොබෝ තාක්ෂණය පාසල් සඳහා හඳුන්වා දීම වෙනුවෙන් ඒ සම්බන්ධ ක්‍රියාකාරකම් ඇතුළත්කර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රෝහණ තිලකුමාර මහතා සම්පාදනය කර ඇති කෘතිය අධ්‍යාපන ඇමැතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහි දී සිදුකෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *