ආනයනික මත්පැන්වලට ආරක්ෂිත ස්ටිකරයක්

(කොළඹ, ලංකාපුවත්) – ආනයනික සියලු මත්පැන් වර්ග සුරාබදු දෙපාර්තමේන්තුව අලුතෙන් හඳුන්වාදුන් ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමකින් තොරව විකිණීම තහනම් කර ඇත.

මෙම ස්ටිකර් අලවා නොමැති විදේශ මත්පැන් සන්තකයේ තබාගැනීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම හා විකිණීම සපුරා තහනම් කෙරේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සුරාබදු ආඥා පනත යටතේ නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයේ පරිදි සුරාබදු නිවේදන අංක 4/2019 යටතේ ජූලි මස 20 වන දින සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව, ප්‍රථම අදියර යටතේ ආනයනික විදේශ මත්පැන් සඳහා මෙම නීතිය (ජූලි 20 සිට) ක්‍රියාත්මක අතර, දේශීයව නිෂ්පාදිත විදේශ මත්පැන් හා දේශීය මත්පැන්ද ස්ටිකර් සහිතව අලෙවි කළ යුතුය යන නීතිය ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලැබේ.

මෙරටට විදේශීය මත්පැන් ආනයනය කරනු ලබන ආයතන 23ක් ඇත. ඔවුන් ආනයනය කරනු ලබන සියලු මත්පැන් බෝතල් සහ කෑන් අලෙවි කිරීමට පෙර සුරාබදු දෙපාර්තමේන්තුව මුද්‍රණය කර ඇති මෙම ආරක්ෂිත ස්ටිකරය ඇලවීමකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීම තහනම් වේ. ගුවන් තොටුපලෙහි ක්‍රියාත්මක බදු රහිත සාප්පු සංකීර්ණ වලට විදේශ මත්පැන් ආනයනය කරනු ලබන ආයතන දෙකක් ඇති අතර ඔවුන් විසින් ආනයනය කරන ලද මත්පැන් මත සුරාබදු දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා රේගුවේ අධීක්ෂණය යටතේ අදාළ මත්පැන් තොගය රේගු බන්ධිත ගුදමෙන් බදු රහිත සාප්පු සංකීරණ වලට මුදා හැරීමට පෙරාතුව ස්ටිකර් ඇලවීම සිදු කෙරේ.

ආනයනය කරනු ලබන විදේශ මත්පැන් පොදුවේ ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපලේ පිහිටි තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ අලෙවි කරනු ලැබේ. ඒ අනුව, මින් ඉදිරියට එම සාප්පු සංකීර්ණ වල සුරාබද්දට යටත් වන මත්පැන් කිසිවක් ස්ටිකර් ඇලවීමකින් තොරව සන්තකයේ තබා ගැනීම, ගබඩා කිරීම හා විකිණීම තහනම් කෙරේ.

මෙම නව නීතිය මගින් නීති විරෝධී ආකාරයට විදේශ මත්පැන් රට තුළට ගෙන ඒම මෙන්ම ප්‍රමිතියෙන් තොර හා ව්‍යාජ මත්පැන් පාරිභෝගිකයා අතට පත්වීම වැළැක්විය හැකිවේ. ශ්‍රී ලංකාවේ බලපත්‍ර ලාභී මත්පැන් නිෂ්පාදනාගාර 23 ක් හා ස්ප්‍රිතු ස්කාගාර 14 ක් තිබේ. විවිධ මාදිලියේ මත්පැන් බලපත්‍ර ලාභී අලෙවිසැල් 4000 කට වැඩි ප්‍රමාණයක් දිවයින පුරා විසිරී ඇත. මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම තවදුරටත් වැඩිකර ගැනීමට හැකිවන අතර සෞබ්‍ය ආරක්ෂිතව අනුමත ක්‍රමවේදයන් යටතේ නිෂ්පාදනය කරනු ලබන ප්‍රමිතියෙන් යුත් මත්පැන් පාරිභෝගික ජනතාවට ලබාදීම මෙමගින් තහවුරු කෙරේ.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති මත්පැන් මත අලවන ස්ටිකරයේ සත්‍යතාවය පාරිභෝගික ජනතාවට පහසුවෙන් හඳුනාගත හැකිවන පරිදි ජංගම දුරකථන සඳහා වන යෙදවුමක් (APP) එකක් ඉදිරියේදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දීමට නියමිතයි. මෙම ස්ටිකර් වර්ගය ආරක්ෂිත උපාය මාර්ගයන් යටතේ විදේශ සමාගමක මුද්‍රණය කර මෙරටට ආනයනය කරනු ලැබ ඇත. කලින් කල මෙම ස්ටිකර්වල ආකෘතිය හා ස්වභාවෙය් සංශෝධනයන් කිරීමට සැලසුම් කර තිබේ. ඊට මහා භාණ්ඩාගාරය, සුරාබදු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රේගුවේ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් පත්කර ඇත.

2016 වසරේ රුපියල් බිලියන 120 ක්ව පැවැති සුරාබදු ආදායම 2019 වසරේදී රුපියල් බිලියන 130 ක් වනු ඇතැයි ඉලක්ක කර තිබේ. 2019 වසරේ දී මේ දක්වා ආදායම රුපියල් බිලියන 66 ඉක්මවා ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එච්. ජී. සුමනසිංහ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *