දේශීය ආර්ථිකය සවිමත් කරන්න අරමුදලක් පිහිටුවනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අරමුදලක් පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. අපේ ව්‍යාපාරිකයන්ට ජාත්‍යන්තර තලයට යාම සඳහා එම අරමුදල මගින් ආර්ථික සංස්ථාව මගින් උපකාර කළ හැකි බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍යවරයා එසේ පැවසූවේ ඊයේ(30) පස්වරුවේ බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ලංකා බැංකුවේ අසූවන සංවත්සරයට එක්වෙමිණි.

2015 වසර වන විට ලංකා බැංකුවේ තිබුණේ රුපියල් බිලියන 800ත් 900ක් පමණ ප්‍රමාණයක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා අද එය රුපියල් බිලියන 1500ක් දක්වා වැඩිවී ඇති බව ද කියා සිටියේය.

එනම් ආර්ථිකය කඩා වැටුනායැයි ඇතමුන් පැවසුවද ලංකා බැංකුවේ තැන්පත් මුදල් සියයට අසූවකින් පමණ වැඩිවී ඇති බව ප්‍රකාශ කළේය.

2015 වසරේ ආණ්ඩුව බලයට පත් වන විට රජයට ණය මුදලක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් තිබුණද අද ජාත්‍යන්තර බැඳුම්කර වෙ‍ළෙඳ පොළ තුළින් පවා අපට ණය මුදල් ලබා ගත හැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා මේ වන විට ලබා ගත් ණය මුදල් ගෙවමින් පවතින බව ද ප්‍රකාශ කළේය.

ලංකාව මේ කලාපයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරනවා පමණක් නොව ලංකාව කලාපයේ මූල්‍ය මධ්‍යස්ථානය බවට පත් කිරීමද තම ඉලක්කය බව කියා සිටියේය.

අපේ රටේ ව්‍යාපාරිකයන්ට ද ජාත්‍යන්තරය සමඟ තරග කොට ජාත්‍යන්තර වෙළෙඳ පොලට පිවිසීමට ඇති කරන වෙනම අරමුදල තුළින් හැකිවන බවට අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 5 =