අත්‍යවශ්‍ය ඖෂධවල කිසිදු හිඟයක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – ජීවිත ආරක්ෂක අත්‍යවශ්‍ය ඖෂධයන්හි කිසිදු හිඟයක් නොමැති බව වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදර්ශන අරඹේගෙදර මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන පරිදි රෝහල්වල ඖෂධ හිඟයක් නොමැති බවත් එම සංගමය ක්‍රියාත්මක කරන දේශපාලන න්‍යාය පත්‍රයේ එක් අංගයක් ලෙස රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බවට මවාපෑමට උත්සාහ කරන බවත් ඒ මහතා පැවැසුවේය.

සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ පවතින දේශපාලන අර්බුදය මුල් කැර ගනිමින් රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බව මවාපෑමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සාහ කරන බව ද ඒ මහතා කීය.

හෘද, පිළිකා රෝගීන්ට අවශ්‍ය සහ ශල්‍යාගාර සදහා අවශ්‍ය සියලු ඖෂධ මේ වන විට රෝහල්වල පවතින්නේ යැයි ද, ඇතැම් සායනික ඖෂධ කිහිපයක පමණක් අඩුවක් පවතින්නේ යැයි ද ඔහු ප්‍රකාශ කෙළේ.

රත්නපුර රෝහලේ ඖෂධ හිඟයක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කළත් එහි සත්‍යතාවක් නොමැති බවත් එසේ ඖෂධ හිඟයක් පවතින්නේ නම් රෝහලේ බලධාරීන් වෛද්‍ය සැපයීම් අංශයට දැනුම් දීමක් කරන අතර එසේ කැර නොමැති බවත් ඔහු අවධාරණය කෙළේය.

සායනික ඖෂධ ලැයිස්තුවකින් ඖෂධ වර්ග 100 ක් ඉල්ලා සිටියහොත් ඉන් 2 ක් අඩු වීමේ ප්‍රවනතාවක් පවතින අතර එය ඖෂධ හිඟයක් නොවන්නේ යැයි ද ඒ මහතා පැවැසුවේය.

කිසියම් රෝහලකට ඖෂධයන්හි අවශ්‍යතාවක් පවතින්නේ නම් සහ එම ඖෂධය වෛද්‍ය සැපයීම් අංශයේ නොමැති නම් ප්‍රාදේශීය මිලදී ගැනීම් සිදු කළ හැකි බවත් රෝහල්වල පවතින ඖෂධ සම්බන්ධයෙන් පරිගණක මෘදුකාංගයක් පවතින නිසා ඖෂධ හිඟයක් ඇති නොවන බවත් ඒ මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *