සංචාරක පැමිණීම ක්‍රමයෙන් වැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ප්‍රහාරයෙන් පසුව කඩා වැටීමට ලක්වූ මෙරට සංචාරක කර්මාන්තය මේ වන විට ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වෙමින් පවතින බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපිත කිෂූ ගෝමස් මහතා පවසයි.

ඊයේ (31) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා කියා සිටියේ මේ වසරේ ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීමෙහි සියයට 80ක් ඉක්මවූ වර්ධනයක් දැකගත හැකි බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කිෂූ ගෝමස් මහතා මෙසේ පැවසීය.

“මැයි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 37,000 ක් දක්වා පහළ වැටුණා. එය දෛනික සාමාන්‍ය 1,260 ක් ලෙස සලකන්න පුළුවන්. නමුත් අපිට ජූනි මාසයේ දී, මැයි මාසයට වඩා 67%ක වැඩිවීමක් වාර්තා වුණා. ජූනි මාසයේ දී 63,000 ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ තිබුණා.“

“ජූලි මාසයේ අපට 25 වනදා දක්වා දත්ත තිබෙනවා. ඒ අනුව ජූලි මාසයේ සෙසු දින සඳහා සිදුකරන ලද පුරෝකථනයන්ට අනුව 117,000 ක පමණ සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සඳහන් කරන්න පුළුවන්. මෙය එම ප්‍රමාණයට වඩා වැඩිවෙන්නත් පුළුවන්. ඒ අනුව ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීමෙහි වර්ධනය 80% ඉක්මවා තිබෙනවා.“

“එය ඉතා හොඳ ප්‍රවණතාවක්. අප මුහුණ දුන් තත්ත්වයේ සිටි අනෙකුත් රටවල් සමඟ සසඳා බැලීමේ දී යථාතත්ත්වයට පත්වීමේ අනුපාතය පිළිබඳව අපට සතුටු විය හැකියි.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *