ආගමික ස්ථාන විදුලි බිලෙන් නිදහස් කිරීම ඔක්තෝබර් මාසයේ සිට

(කොළඹ, ලංකාපුවත්) – ආගමික ස්ථාන විදුලි බිලෙන් නිදහස් කිරීම මේ වසරේ ඔක්තෝබර් මාසය වනවිට ක්‍රියාත්මක කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා සදහන් කරයි.

ඇමතිවරයා මෙම අදහස් පළකළේ, පසුගියදා (03) මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ජෙනරේටර් යන්ත්‍රයක් ලබාදිමේ වැඩකටයුතු වෙනුවෙන් එහි පැමිණි අවස්ථාවේදී මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිලිතුරු සපයමිනි.

“පන්සල්, පල්ලි, කෝවිල්, මුස්ලිම් පල්ලි ආදියට ආදායමක් නොමැති නිසා, යම් සීමාවක් සහිතව විදුලි බිලෙන් නිදහස් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. රටේ මේ වනවිට එසේ විදුලි බිලෙන් නිදහස් කළයුතු ආගමික ස්ථාන 39,800 ක් තිබෙනවා. ඒ වෙනුවෙන් මිලියන 1100 ක් පමණ වියදම් කරනවා. සූර්ය බලය පාවිච්චි කරලා මෙම ආගමික ස්ථාන වලට නොමිලයේ විදලිය ලබාදීම සිදු කිරීමට කටයුතු කරනවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව, ලබන සැප්තැම්බර් මාසයේ අග වනවිට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරෝතතු වෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් ඉතිහාසයේ ගැටලු වලට මට පිළිතුරු සපයන්න බැහැ. නමුත් වර්ථමානයේ සහ අනාගතයේදී කිසිම අක්‍රමිකතාවක්, වංචාවක්, දූෂණයක් සිදුවන්න මම ඉඩ දෙන්නේ නැහැ. නරකයි කියන සෑම දෙයක්ම අපි හොද බවට පත් කරමින් යනවා. ඉදිරියේදී අපි විදුලි කප්පාදුවක් ඇති නොවන පරිදි තමයි රැඩිකල් ආකාරයෙන් කටයුතු කරගෙන යන්නේ. අපි ලිදේ ඉන්න ගෙම්බෝ වගේ වැඩ කරලා හරියන්නේ නැහැ. නූතන ලෝකයට ගැලපෙන අකාරයට කටයුතු කළ යුතුයි. අපේ වැඩ වලට මිල සූත්‍ර එන්නේ නැහැ. ලංකාවේ ඉන්නේ කතාකාරයෝ පමණයි. වැඩකාරයෝ නැහැ. වැඩක් කරන පුද්ගලයාට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. වැඩ නොකරන කෙනා හොදින් ඉන්නවා. වැඩ කරන කෙනාට තමයි නිරන්තරයෙන් බනින්නේ” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *