ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරුයි – බිය සැක නැතිව පෙරහර නරඹන්න

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට අවශ්‍යය ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු කර තිබෙන බැවින් බියක් හෝ සැකයක් නොමැතිව පෙරහර නැරඹීමට පැමිණෙන ලෙස තමන් දෙස් විදෙස් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පැවසුවේය.

පෙරහර වීදි සංචාරය ආරම්භ කරන අද (05) සිට දහවල් පෙරහර පැවැත්වෙන 15 දක්වා වූ දින 11 ක කාලය තුළ මහනුවර හා ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කරන බවද ඒ මහතා කීය. මෙවර මහනුවර ඇසැළ පෙරහර මංග්‍යයේ ආරක්ෂාව සම්බන්ධව දැනුම් දීම නිමිත්තෙන් ඊයේ (04) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති මාධ්‍යය හමුවකදී ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල, සතර මහ දේවාළ බස්නායක නිළමේවරු, වැඩබලන පොලිස්පති ඩී.ඩී වික්‍රමරත්න, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ, යුද හමුදාවේ මධ්‍යම ප්‍රදේශ ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය බාධාවකින් තොරව සාර්ථකව පැවැත් වීමට අවශ්‍යය පසුබිම සකස් කර අවසන් බවද පවතින ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධව තමන් සෑහිමට පත්වන බවත් හෙතෙම අවධාරණය කළේය.

පෙරහර සමයේ සෑම දිනකම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හා යුද හමුදා ප්‍රධානීන් ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධව විශ්ලේෂණයක් කරන බවද ඒ මහතා කීය.

ආරක්ෂාව සම්බන්ධව කටයුතු කිරීමේදී ආරක්ෂක අංශ ගනු ලබන ක්‍රියාමාර්ග වලට මහජන සහය අත්‍යවශ්‍ය බවත් සැකකටයුතු පුද්ගලයින් හෝ ස්ථාන සම්බන්ධව ජනතාව විමසිල්ලෙන් සිට තොරතුරු ලබා දෙන්නේ නම් එය ආරක්ෂාව සැලසීමේදී ඉතා පහසු වනු ඇති බවත් කෝට්ටේගොඩ මහතා පැවසුවේය.

බෞද්ධ ආගමික උත්සව වලට පමණක් නොව සෙසු ආගමික ස්ථානයන්හි පැවැත්වෙන උත්සව වලටද මේ ආකාරයෙන් උපරිම ආරක්ෂාව ලබා දෙන බවත්, තලවිල කතෝලික පල්ලියේ උත්සවයටද මෙවැනිම ආරක්ෂාවක් ලබාදුන් බවත් කී ඒ මහතා ඉදිරියේදී නල්ලූර් කෝවිළේ පැවැත්වෙන උත්සවයේ ආරක්ෂාවද මේ ආකාරයෙන්ම තහවුරු කරන්නේ යැයි ප්‍රකාශ කළේය.

පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාව හැකි තරම් බඩු භාණ්ඩ ගෙන ඒමෙන් වළකින ලෙසත් විනිවිද පෙනෙන මලු භාවිත කරන්නේ නම් එය ආරක්ෂක අංශ වලට පහසු වනු ඇති බවත් හෙතෙම කීය.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අදහස් දක්වමින් මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අනුශාසනා පරිදි මෙවර මහනුවර ඇසළ පෙරහර අලංකාර ලෙස පැවැත් වීමට සියලු වැඩපිළිවෙළ සකස්කර අවසන් යැයි පැවසුවේය.

පෙරහර ආරම්භ වීමට මාස කිහිපයක පටන් ආරක්ෂක අංශ ක්‍රියාත්මක වෙමින් විධිමත් ආරක්ෂාවක් පෙරහරට ලබා දීමට කටයුතු කළ බවත් මේ නිසා පෙර වසර වල මෙන්ම පෙරහර මංගල්‍යය පැවැත් වීමට අවස්ථාව ලැබුණු බවත් ඒ මහතා කීය.

මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ මහතා ඇමරිකානු තානාපති කාර්යාලය මගින් නිකත් කර තිබෙන නිවේදනය මහනුවර ඇසළ පරෙහර ඉලක්ක කර නිකුත් කළ එකක් නොවන බවත් එය පෙරහර හා සම්බන්ධ කර ගැනීමට අවශ්‍යතාවක් නොමැති බවත් පැවසුවේය.

ත්‍රිවිධ හමුදාවද එක් කර ගනිමින් පොලීසිය පෙරහරට අවශ්‍යය උපරිම ආරක්ෂාව ලබා දෙන බවත් ඒ පිළිබඳ විශ්වාසය තබා සැකයකින් තොරව පෙරහර නැරඹීමට පැමිණෙන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *