තව සති දෙකකින් කොළඹ වටේ බෝට්ටු ගමන්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ ජල මාර්ගවල මඟී ප‍්‍රවාහන බෝට්ටු සේවාව ඉදිරි සති දෙක ඇතුළත ආරම්භ කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සදහන් කළේය.

බේරේ වැව සහ වැල්ලවත්ත ඇල කේන්ද්‍ර කරගනිමින් එහි පළමු අදියර කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව වැල්ලවත්තේ සිට බත්තරමුල්ලට විනාඩි 40 ක කාලයකදී ගමන් කිරීමට හැකිවීම විශේෂත්වයකි.

වායු සමීකරණය කළ බෝට්ටු එම සේවාව සඳහා යොදාගන්නා බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක මහතා පැවසීය.

කැළණි ගඟේ මට්ටක්කුලිය සිට හංවැල්ල දක්වා ද මඟී ප‍්‍රවාහන බෝට්ටු සේවාවක් කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ එය සිදුවන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.

එසේම මෙම සියලු කොළඹ ජල මාර්ගවල බෝට්ටු සේවාව හා සහසම්බන්ධව බස් හා දුම්රිය ප්‍රවාහන සේවාවල කාලසටහන් සකස් කිරීමටත් ඉදිරියේ දී කටයුතු කෙරේ.

මීට අමතරව කොළඹ බේරේ අවට ඇති ප්‍රධාන හෝටල්වල විදේශ සංචාරකයන්ට සතුටු වීමට රාත්‍රියේදී මේ බෝට්ටු සේවය යොදා ගැනීමට අදහස් කෙරේ.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසන පරිදි මේ මුල් ව්‍යාපෘති 3 සඳහා සම්පූර්ණ වියදම රුපියල් මිලියන 100 කි. මේ මගින් 500ක පමණ පිරිසකට රැකියා අවස්ථා ලැබෙන අතර කොළඹ ජල මාර්ගවල පිරිසුදු බව හා ජලයේ තත්ත්වය ද ඉහළ යයි‍.

ජලයේ ගුණාත්මක බව වැඩිවීමටත් ජනතාවට කොළඹ නගරයේ ගමන් කිරීමට මෙතෙක් කල් විනාශ වූ කාලය, ශ්‍රමය හා ධනය අවම කර ගැනීමටත් මේ ව්‍යාපෘතිය හේතුවනු නොඅනුමානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *