ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීමට නව නීති හදනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –රාජ්‍ය ආරක්ෂාව සහ බුද්ධි තොරතුරු විශ්ලේෂණය සම්බන්ධයෙන් යම් අඩුපාඩුවක් සිදු වී ඇති බවත් එම අඩුපාඩු සොයාබලා ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීමට හැකිවන සේ නව නීති සම්පාදනය කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (6) පැවසීය.

2019 අප්‍රේල් 9 දින හෝ ඊට පසුව අනාවරණය වූ කිසිඳු බුද්ධි තොරතුරක් අගමැති ආරක්ෂක අංශයට ලැබී නොමැති බව අවධාරණය කළ අගමැතිවරයා ත්‍රස්තප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු අගමැති ආරක්ෂක අංශයට යොමු නොකළ බවට අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පතිවරයා ද පිළිගෙන ඇති බවද පැවසීය.

කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ඊයේ (06) පස්වරු 2.00 ට රැස්විය.

ඇමැති රවි කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, මහාචාර්ය ආශු මාරසිංහ, එච්. ඒ. සුමන්තිරම්, නලින්ද ජයතිස්ස යන කමිටු සාමාජිකයින් නඟන ලද ප්‍රශ්නවලට පැය දෙකකට ආසන්න කාලයක් සාක්ෂි පිළිතුරු දුන් අගමැතිවරයා සාක්ෂි ලබාදෙමින් මෙසේද පැවසීය.

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු විශ්ලේෂණයේ අඩුපාඩු තිබුණා. එම බුද්ධි තොරතුරු මට ලැබුණේ නෑ. අගමැති ආරක්ෂක අංශයට යොමුකර නෑ. එසේ යොමුකර නොමැති බවට හිටපු පොලිස්පතිතුමා ද පිළිගෙන තිබෙනවා. මේ සිද්ධිය වන විට මම කොළඹ හිටියේ නෑ. එහෙත් සිද්ධිය සැලවූ වහාම කඩිනම් පියවර ගන්න කටයුතු කළා.

ආරක්ෂක කවුන්සිල සාමාජිකයින් වහාම අරලියගහ මැදුරට කැඳවා ක්‍රියාත්මක වීමට පියවර ගත්තා. එම නිලධාරීන් අරලියගහ මැදුරට ඒම ප්‍රමාද වූ හෙයින් මා ආරක්ෂක රාජ්‍ය ඇමැති අමතා ආරක්ෂක අමාත්‍යාංශයට ගියා. මෙවන් අවස්ථාවලදී ක්‍රියාකිරීමට මට අත්දැකීම් තිබුණා.

ගෝලීය ත්‍රස්තවාදයට මුහුණදීමට අපට නීති නෑ. ත්‍රස්තවාදයට මුහුණදීමට නව මුහුණුවරක්, ක්‍රමයක් රටට අවශ්‍යයි. ත්‍රස්ත විමර්ශන අංශය වගේ ගෝලීය ත්‍රස්තවාදයට නව ඒකකයක් පිහිටුවිය යුතුයි. අන්තර්ජාලය, වෙබ්අඩවි ගැන නව නීති හඳුන්වා දිය යුතුයි. වෛරී ප්‍රකාශවලට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අධිකරණ අමාත්‍යාංශය හා එක්ව නීති සම්පාදනය කරමින් පවතිනවා.

අපිට විදේශ විනිමය පරීක්ෂණ ඒකකයක් වෙනම තිබිය යුතුයි. මේ නව නීති සම්බන්ධයෙන් වන කාර්යසාධන පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය මගින් පනතක් ලෙස සම්පාදනය කිරීමට කටයුතු සම්පාදනය කරනවා. මද්‍රසා නීතිය සම්බන්ධයෙන් කෙටුම්පතක් සකස්කර තිබෙනවා. නොබෝ දිනකින් ගැසට් නිවේදනයක් මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අධිකරණ ඇමැති, විදේශ ඇමැති, කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් මගින් අලුත් නීති ගැන සොයා බලනවා. ත්‍රස්තවාදීන් පුහුණු කඳවුරුවල සිටීමට එරෙහිව අලුත් නීතියක් අපේ අපරාධ නීතියට ඇතුළත් කළ යුතුයි. විදෙස් රටවල නම් තමන්ගේ නිවෙසට යන මාර්ගය බැහැරව ගමන් කිරීමටත් එරෙහිව නීති තිබෙනවා.

එවන් තද නීතියක් අපිට අවශ්‍ය නොවුණත් ගෝලීය ත්‍රස්තවාදයට මුහුණදීමට නීති පද්ධතිය ශක්තිමත් විය යුතුයි. ජාතික ආරක්ෂාව පිළිබඳ ජීවවිද්‍යාත්මක තාක්ෂණය ලබා ගන්නත් නීති සම්පාදනය කළ යුතුයි. ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් විටින්විට ජාතික ආරක්ෂක මණ්ඩලයේ දී සාකච්ඡා කර තිබෙනවා. 2015දී සුමානයකට වරක් ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්වුණා. මෙම අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සාක්කි වරින්වර ලැබුණා. සිරියාවේ ත්‍රස්ත පුහුණුවට ගොස් මරණයට පත්වූ පුද්ගලයා ගැන තොරතුරු තිබුණා.

තවත් පිරිසක් සිරියාවේ සිට ලංකාවට ඇවිත් සිටියා. 2018 ඔක්තෝබර් වනතුරු ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් මට දැනුම් දුන්නා. ඔක්තෝබර් ව්‍යවස්ථා අර්බුදය හා දෙසැම්බර් මාසයෙන් පසුව මාව කැ‍ඳෙව්වේ නැහැ. 2019 පෙබරවාරිවලින් පසුව රැස්වෙන්නේ නෑ කියලා මට තොරතුරු ලැබුණා. ඊට පෙර පොලිස්පතිතුමා ද කැඳෙව්වේ නෑ කියලා මට කිවුවා. ආරක්ෂක තොරතුරු මට ලැබුණේ නීතිය හා සාමය ඇමැතිවරයාගෙන්.

කාත්තන්කුඩිවල අන්තවාදී ක්‍රියා හැසිරීම් සම්බන්ධයෙන් පොලිසියෙන්, බුද්ධි තොරතුරුවලින් පමණක් නොව දේශපාලනික වශයෙන් මට තොරතුරු ලැබුණා. අන්තවාදී කණ්ඩායම් ත්‍රස්තවාදය යෙදුණු බවට කරුණු අනාවරණය වීමක් සිදුවුණේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *