සිදු­වීම පිළි­බඳ හරි හැටි නොදැන කිසිවකුට දොස් පැවරීමෙන් ලබාගත හැකි ජයග්‍රහණයක් නෑ

(කොළඹ, ලංකාපුවත්) – මුළු ලොවටම පෙන්වූ කිතුනු ජනතාවගේ සංවර බව මෙහිදීත් ප්‍රදර්ශනය කරමු යැයි ද අද සිදුවීම කවරකු අතින් සිදුවී දැයි නොදන්නා හෙයින් පසෙක සිටින මිනිසුන්ට දොස් පවරා නොසන්සුන්වීමෙන් ලබාගත හැකි ජයග්‍රහණයක් නැතැයිද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණෝ පැවසූහ.

කටුවපිටිය ශා.සෙබස්තියන් දේවස්ථානයට යෑම සඳහා මීරිගම මහ මාර්ගයෙන් හැරී යන මාර්ගය අසල ඉදිකර ඇති ශා.සෙබස්තියන් ප්‍රතිමාවට නාඳුනන පුද්ගලයකු හෝ පිරිසක් ගලකින් පහරදී එම ප්‍රතිමාවේ ආරක්ෂාවට තනා ඇති වීදුරු ආවරණයට අලාභ හානි සිදුව ඇතැයි කියන සිද්ධියක් මුල්කැරගෙන ඊයේ (06) පෙරවරුවේ එම ප්‍රතිමාව ඉදිරිපිට කටුවපිටිය ග්‍රාමවාසීන්ගේ විරෝධතාව නිරීක්ෂණයට එහි පැමිණි අගරදගුරු හිමිපාණෝ ඒ බව පවසා සිටියහ.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද මෙදින පෙරවරුවේ පැමිණ අනතුරුව කාදිනල් හිමිපාණෝ කටුවපිටිය දේවස්ථාන පරිශ්‍රයේ සිට නීතිය අතට නොගන්නා ලෙසත් ආදර්ශවත් කිතුනුවන් ලෙස මෙවැනි අවස්ථාවකට මුහුණදීමට අදිටන් කරගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

අගරදගුරු හිමි මෙසේද පැවසූහ.

මේ ප්‍රතිමාවට ගලක් වැදීම සම්බන්ධව ආරංචිය ලැබුණු ගමන් මම ආවේ ඔබේ හැම අවශ්‍යතාවයක් ගැනම මම සංවේදී වන නිසයි. කටුවපිටිය දෙව්මැදුරේ මෙන්ම අනෙකුත් ස්ථානවල බෝම්බ පිපිරීම්වලින් ඔබට සිදුවෙච්ච දේ ගැන ඇත්ත දැන ගන්න ඔබට තිබෙන අයිතිය මම සම්පූර්ණයෙන් පිළිගන්නවා.

මම කවදාවත් ඔබව තනි කරන්නේ නැහැ. මතක තියාගන්න ඔබේ දුක වේදනාව නැති වෙච්ච දරු පවුල්වල ඔබේ දරුවෝ, සහෝදර සහෝදරියෝ, දෙමව්පියෝ මේ හැම කෙනෙකුගේම ජීවිත මට වටිනව කියලා මම ඔබට සහතික වෙනවා.

මේ අද සිදුවෙලා තිබෙන අවාසනාවන්ත සිද්ධිය ගැන මම ඇත්තෙන්ම කනගාටු වෙනවා. අපි මෙවැනි අවස්ථාවල ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. මේ වගේ සිද්ධීන් පිටුපස්සේ කවුද ඉන්නේ කියලා අපි තවම දන්නේ නැහැ. ඒ නිසා තමයි අපි හොඳට මේ වගේ අවස්ථාවල කාරණා හොයලා බලන්න කියලා නායකයන්ට කියන්නේ. ඒ වගේම මම ඔබට කියනවා අපි මෙච්චර කල් මුළු ලෝකයටම පෙන්වපු සංවරකම තවදුරටත් තබා ගමු කියලා. කටුවපිටියේ ඉන්නේ කිස්තුභක්තිකයන් හැටියට ඉතාම ඉවසීමකින් කටයුතු කරපු පිරිසක් කියලා මුළු ලෝකයටම පෙන්නුවා. ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේද මා සමඟ කීවා ඔබ සියලුදෙනාගේම ඉවසීම අගය කරනවා කියලා. අපි දන්නේ නැහැ මේ ගල ගැහැව්වේ කවුද කියලා. අපි හරියට කවුද කියලා දන්නේ නැති නිසා අහක සිටින මිනිසුන්ට මේ ගැන දොස් පවරලා ගහන්න ගිහිල්ලා ලබාගත හැකි ජයග්‍රහණයක් නැහැ. මේ ගලක් නිසා ආරවුල් ඇති කරගන්න එපා කියලා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා.

පසුව විරෝධතාකරුවෝ කාදිනල් හිමිපාණන් සමඟ සමූහ යාඥාවකට එක්වීමෙන් පසු සාමකාමීව විසිර ගියහ.

මේ අවස්ථාවට සාමය හා ආරක්ෂාවට පොලිසියේ විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 2 =