අගමැති, ආරක්ෂක රාජ්‍ය ඇමැති පොලිස්පති නොමැතිව ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වූවා

(කොළඹ, ලංකාපුවත්) – අගමැති, ආරක්ෂක රාජ්‍ය ඇමැති හා පොලිස්පති නොමැතිව ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වූ බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (06) පැවැසීය.

ඔක්තෝම්බර් ව්‍යවස්ථා අර්බුදයෙන් පසුව විධායකය හා ව්‍යවස්ථාදායක අතර ඇතිවූ නොහොඳ හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවෙන්නට ඇතැයිද හෙතෙම පැවැසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් රාජ්‍ය ඇමැතිවරයා එසේ පැවැසීය.

කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරු දෙකට කමිටුව රැස්වූ අතර පස්වරු 06 ට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි ලබාදුන්නේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පුරා පැය දෙකකට ආසන්න කාලයක් සාක්ෂි ලබාදුන්නේය.

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා සාක්ෂි ලබාදෙමින් මෙසේ පැවසීය.

කමිටු සභාපති – ආනන්ද කුමාරසිරි මහතා,

මෙම කමිටුවේ සාක්ෂි මගින් හෙළිවූ කරුණු තහවුරු කර ගැනීම සඳහා ඔබව සාක්ෂියට කැඳවූවා. ආරක්ෂක රාජ්‍ය ඇමැති ධුරය පිළිබඳව සඳහන් කරමින් එය පැහැදිලි කරන්න.

විජයවර්ධන මහතා,

මම 2015දී ආරක්ෂක රාජ්‍ය ඇමැති ලෙස පත්වුණා. 2017 ආරක්ෂක කමිටු රැස්වීමේදී කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි දෙකක් ගැටුම පිළිබඳ සාකච්ඡා වුණා. ඒ කාලේ නීතිය හා සාමය වෙනම අමාත්‍යාංශයක් ලෙස පැවතියා. ප්‍රහාරයක් ගැන ජාතික ආරක්ෂක කමිටුවේ කතාකළේ නෑ. මෙවැනි ප්‍රහාරයක් පිළිබඳ තොරතුරක් මට මෙම ප්‍රහාරයට කලින් ලැබිලා නෑ. ප්‍රහාරයට පසු තමයි එවන් බුද්ධි තොරතුරු තිබෙනවා කියලා හෙළිවුණේ. ප්‍රහාරයෙන් පසු මම අමාත්‍යාංශයට ගියා. ලේකම්තුමාට කතාකළා. එතුමා ශැංග්‍රිලා හෝටලයට ගිහින් තිබුණා. ඊට පසු පල්ලියට ගියා අපි. ඇමැතිවරු මේ ගැන කතා කළා. අගමැතිතුමා මට කතාකළා.

අගමැතිතුමා කොළඹින් පිට හිටියේ එතුමා කොළඹට ආපසු සාකච්ඡාවක් පැවත්වූවා. නීතිපතිතුමා එනවා කිව්වා, පොලිස්පතිතුමාට එන්න කිව්වා. එහෙත් උනන්දුවක් දැක්වූයේ නෑ.

තුන්වෙනිපාර අගමැතිතුමා මට කතාකරලා ඇහුවා ඔබලා අරලියගහ මැදුරට එන්නේ නැත්නම් මම ඔහේට එන්නම් කිව්වා. ඒ වෙලාවේ මම කිව්වා ආරක්ෂක අමාත්‍යාංශයට ආවොත් හොඳයි කියලා. මගේ අමාත්‍යාංශයට ආයතන හතරයි තිබෙන්නේ.

බුද්ධි අංශයත් ත්‍රිවිධ හමුදාවවත් නෑ. මගේ බාරව තිබෙන්නේ සුළු ඒකකයක් පමණයි.

රවි කරුණානායක,

මොනවද කතා කළේ. මාවනැල්ල සිද්ධිය ගැන.

විජයවර්ධන මහතා,

ආරක්ෂක කමිටු රැස්වීමේ ජනපති ප්‍රධානත්වය ගත්තා. මම මේ කාලයේ කමිටු රැස්වීම සහභාගි වුණේ නෑ.

සුමන්තිරන් මහතා,

ඔබ ආරක්ෂක කමිටුවේ මුලසුන ගන්නවා නේද?

විජයවර්ධන මහතා,

මම මුලසුනේ ඉඳගන්නවා. මෙහෙයවන්නේ ආරක්ෂක ලේකම්තුමා. න්‍යායපත්‍රය හදන්නේ මම නෙවෙයි, මට එන්න කියනවා. සහභාගි වෙනව, ප්‍රධාන න්‍යායපත්‍රය හදන්නේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා. ඩී. එන්. අයි. කළේ බුද්ධි තොරතුරු සම්බන්ධීකරණය කළා. ත්‍රස්ත විමර්ශන අංශය සහභාගි වුණා.

සුමන්තිරන් මහතා,

මාවනැල්ල සිද්ධිය 2018 ඔක්තෝබර්, ඊට පෙර දිගන මාර්තුවල. මේ අතර කාලය තුළ රැඩිකල් කරණය හෝ අන්තවාදය ගැන කතා කළේ නැද්ද?

විජයවර්ධන මහතා,

මම අවසන් වරට 2018 ව්‍යවස්ථා අර්බුදයට පෙර අන්තිමට ඔක්තෝබර් සහභාගි වුණා. බුද්ධි අංශ රැස්වීමට සහභාගි වුණා. ඊට පසුව මම අප්‍රේල් 21 දක්වා ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගිවූයේ නෑ. මට ආරාධනා කළේ නෑ. දෙසැම්බර් 16 පසුව අප්‍රේල් 21 දිනට කලින් සහභාගි වුණේ නෑ.

සුමන්තිරන් මහතා,

ඔබ ඇහුවේ නැද්ද ආරක්ෂක ලේකම්ගෙන් ඇයි නොකැඳවන්නේ කියලා.

විජයවර්ධන මහතා,

මම ඇහුවා, එතුමා කිව්වා දැන් කවුන්සිලය රැස්වෙන්නේ නෑ. අවශ්‍ය අවස්ථාවලදී ජනාධිපතිතුමා ත්‍රිවිධ හමුදාව හමුවෙනවා කිව්වා.

සුමන්තිරන් මහතා,

ඔබ ජනපතිගෙන් ඇහුවේ නැද්ද?

විජයවර්ධන මහතා,

නෑ, මම ඇහුවේ නෑ.

සුමන්තිරන් මහතා,

බුද්ධි අංශ රැස්වීම් ගැන ඇහුවේ නැද්ද?

විජයවර්ධන මහතා,

මාර්තු මාසයේදී මම ඇසුවා එහිදී කිව්වේ ඉදිරි රැස්වීමේදී ආරාධනා කරයි කිව්වා. එහෙත් කැඳෙව්වේ නෑ. සාමාන්‍ය වශයෙන් මගේ ලේකම්වරයාට කැඳවීමක් ලැබෙනවා මට එන්න කියලා. නමුත් මාව කැ‍ඳෙව්වේ නෑ. මේ රැස්වීම් මගේ අමාත්‍යාංශ කාර්යාලයේ පැවැත්වෙනවා. එහෙත් මට එන්න කියලා කිව්වේ නෑ.

රවි කරුණානායක මහතා,

ඔබ විරෝධයක් පළකළේ නැද්ද මේ ගැන.

විජයවර්ධන මහතා,

ඒ නිසා තමයි මම ලේකම්වරයාගෙන් ඇහුවේ. එහිදී ඔහු කිව්වා ඊළඟ රැස්වීමේදී කතාකරයි කියලා.

රවි කරණානායක මහතා,

යම් සම්බන්ධීකරණයක් නොමැති බව ඔබට වැටහී ගියාද?

විජයවර්ධන මහතා,

ඔව්. මම ඒ ගැන අවබෝධයක් ලැබුවා. 2015 සිට ආරක්ෂක ලේකම්වරු පස්දෙනෙක් පත්වුණා.

ෆොන්සේකා මහතා,

ගැසට් එක අනුව ඔබේ රාජකාරි ඉටු වුණා ද?

විජයවර්ධන මහතා,

ඒ අනුව තමයි ආරක්ෂාවට සහාය ලබාදීම මම සිදුකළේ ත්‍රිවිධ හමුදාව මට තිබුණේ නෑ.

ෆොන්සේකා මහතා,

පාර්ලිමේන්තුවේ ආරක්ෂක ප්‍රශ්නයකට උත්තර දෙන්නේ ඔබතුමා. තීන්දු තීරණ ගන්න වගකීමක් තිබුණේ නැද්ද?

විජයවර්ධන මහතා,

එහෙම වගකීමක් තිබුණේ නෑ. ඇත්තෙන්ම පාර්ලිමේන්තුවේදී උත්තර දෙනකොට යම් අපහසුතාවයකට පත්වෙනවා.

ෆොන්සේකා මහතා,

ආරක්ෂක දැනුමක් ඔබට තිබුණාද?

විජයවර්ධන මහතා,

මුලදි මට දැනුමක් තිබුණේ නෑ. අවුරුදු හතරමාරක් මේ තනතුරේ සිටියා. දැන් යම්කිසි අවබෝධයක් ආරක්ෂාව සම්බන්ධයෙන් තිබෙනවා.

‍ෆොන්සේකා මහතා,

ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ආරක්ෂක ඇමැතිතුමාගෙන් යම් නියෝගයක් ලැබුණද මේ ජාතික තවුහිත් ජමාද් පිළිබඳව.

විජයවර්ධන මහතා,

නෑ. මට මතක නෑ. එහෙම නියෝග ගැන බුද්ධි අංශවලට, පොලිසියට දැනුවත් කළා.

ෆොන්සේකා මහතා,

මේක මර්දනය කරන්න උපදේශයක් ලැබුණද? බෝම්බ පිපිරුවා, කඳවුරු පැවැත්වූවා.

විජයවර්ධන මහතා,

මම ඉන්න කාලේ එහෙම නියෝගයක් ලැබුණේ නෑ. කාත්තන්කුඩි පොලිසිය මාවනැල්ල පොලිසිය නිසි පරිදි කටයුතු කළානම් මේ ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා.

ෆොන්සේකා මහතා,

ජාතික ආරක්ෂක කවුන්සිලය දින කීයක් පැවැත්වූවාද?

විජයවර්ධන මහතා,

එහෙම නිශ්චිත දිනයක් නෑ. 2015 සිට සෑම බදාදාවකම පැවැත්වූවා. ඊට පසුව මාසයක් අතර පැවැත්වූවා. ජනාධිපතිතුමා අවශ්‍ය පරිදි කැඳෙව්වා. රැස්වීම රටාවකට පැවැත්වූවේ නෑ.

නලින්ද ජයතිස්ස මහතා,

ඔබට කලින් ඉතිහාසයේ කවුද හිටි ඇමැතිවරු. රණවිරු සේවා අධිකාරිය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ඔබට පැවරුවා. ඊට පෙර ඇමැතිවරුන්ට බලතල තිබුණා නේද?

විජයවර්ධන මහතා,

ඇමැතිවරු හිටියා ඔවුන්ට බලතල තිබුණා. මගේ ආයතන ගැන කතාකරන්න තිබෙන්නේ ආයතනික ප්‍රශ්න ගැන මට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක් පැවරී නෑ. මම සහභාගි නොවූ දිනවල තොරතුරු මට දැනුම් දීමක් නෑ.

නලින්ද ජයතිස්ස මහතා,

ප්‍රහාරයට පෙර අප්‍රේල් 09 දින බුද්ධි ලිපිය ඔබ දැක්කද?

විජයවර්ධන මහතා,

නෑ මම දුටුවේ නෑ. ප්‍රහාරයෙන් පස්සේ දැක්කා. මම ඇහුවා මේ ලිපිය ආරක්ෂක නිලධාරින්ට ලැබුණද කියලා. ඔවුන් කිව්වා මෙවන් ලිපි හැමවිටම ලැබෙනවා. අපි ඒ ගැන කියන්නේ නෑ. අපේ වගකීම ඔබ ආරක්ෂා කිරීම කියලා.

අන්තවාදී කණ්ඩායම් ගැන සාකච්ඡා කළා. දිගන ප්‍රහාරයෙන් පසුව යම් සාකච්ඡාවක් සිදුවුණා.

නලින්ද ජයතිස්ස මහතා,

ඔබට දීලා තිබෙන්නේ ආයතන හතරක් නම්, ආරක්ෂක කවුන්සිලයට ඔබ යන්නෙත් නැත්නම් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබතුමාට පැවරෙන රාජකාරිය අපිට ගැටලුවක් ආරක්ෂක රාජ්‍ය ඇමැති ලෙස ජනතාව බලාපොරොත්තුවන දෙයක් තිබෙනවා. ඒ පිළිබඳව පාර්ලිමේන්තුව හෝ දැනුවත්විය යුතුව තිබුණා නේද?

විජයවර්ධන මහතා,

ඒවා පත්තරවල පළවුණා. නමුත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උත්තර දුන්නේ මම.

ජයම්පති වික්‍රමරත්න මහතා,

අගමැතිතුමා, පොලිස්පතිතුමා, ආරක්ෂක රාජ්‍ය ඇමැතිතුමා, ආරක්ෂක කවුන්සිලයට කැඳවන්නේ නෑ. යම් සම්බන්ධීකරණයක් ජාතික ආරක්ෂාව පිළිබඳ නොතිබූ බව ඔබට වැටහුණාද?

විජයවර්ධන මහතා,

මටත් එය සාක්ෂි අනුව වැටහී ගියා. ආරක්ෂක ලේකම්වරු පස්දෙනෙක් පත්වුණා. දැන් ජනරාල් කෝට්ටේගොඩ මහතා ඉන්නවා.

වික්‍රමරත්න මහතා,

පාර්ලිමේන්තුවත්, ආරක්ෂක ඇමැති ජනාධිපති අතර යම් සම්බන්ධීකරණයක් නොතිබුණා කියලා නාභිගත නොවීමක් වුණා කියලා ඔබට හිතෙනවාද?

විජයවර්ධන මහතා,

සම්බන්ධීකරණ අඩුපාඩු නිසා මේ ප්‍රහාරය සිදුවුණා. බුද්ධි තොරතුරු ලැබුණම යම් විශ්ලේෂණයක් සිදුවිය යුතුයි. අපේ රටේ එහෙම විශ්ලේෂණයක් නෑ.

නලින්ද ජයතිස්ස මහතා,

ජාතික බුද්ධි ප්‍රධානීට මීට වඩා බලතල තිබිය යුතුයි කියා හිතනවාද?

විජයවර්ධන මහතා,

එසේ බලතල තිබිය යුතුයි.

සරත් ෆොන්සේකා මහතා,

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට ලබාදී ඇති බලතල අඩුකරලා. මෙහෙයුම් වගකීමක් එම පනත අනුව ලැබී නෑ.

විජයවර්ධන මහතා,

මම ඔබතුමා සමඟ සියයට සියයක් එකඟ වෙනවා.

වරාය හා නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතාගේ සාක්ෂි ලබාදීම

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා – පාස්කු ඉරිදා සිදුවීම වැනි සිදුවීමක් සිදුවිය හැකි බවට රාජ්‍ය බුද්ධි අංශ නිලධාරින් 2015 වසරේ සිට මෙවැනි සිදුවීම් මාලාවක් ඇතිවිය හැකි බවට දැනුවත් කර තිබුණාද?

පිළිතුර – 2015.11.12 දින සිට 2018.02.25 දක්වා නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන ඇමැතිවරයා ලෙස මම කටයුතු කළා. ආරක්ෂක වාර්තාව යනුවෙන් වාර්තාවක් එවකට මට සෑම දිනයකදීම ලැබුණා. මෙය ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම් ඇතුළු බොහෝ පිරිසකට ලැබෙනවා.

මෙම වාර්තාව ඉතා වැදගත්. මෙය බුද්ධි අංශ වාර්තාවක් නෙවෙයි. ගත වූ පැය 24 තුළ සිදුවූ සිදුවීම් පිළිබඳව වාර්තාවක්. මෙය ඉතා වැදගත්. මෙම වාර්තාව මම දෛනිකව බලනවා. මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු නම් මම විශේෂ විමසීම්ද සිදුකරනවා. ඒ වගේම පොලිස්පතින් මට දෛනිකව කතා කරනවා. අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව අවධානය යොමු කරවනවා.

ආනන්ද කුමාරසිරි මහතා – මේ වාර්තාව සකස් කළේ පොලිසිය වෙනුවෙන්ද?

පිළිතුර – නැහැ නැහැ. පොලිසිය පමණක් නෙවෙයි පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශය සියල්ල වෙනුවෙන්. Concept Paper දෙකක් මේ ආකාරයට හැදුවා. බුද්ධි අංශ හුවමාරු වීම ඉතා වැදගත්. පොලිසියට, ආරක්ෂක අංශවලට පමණක් වෙන් වෙන්ව අයිඑස්අයිඑස් ත්‍රස්තවාදයට මුහුණ දෙන්න බෑ. ඒ නිසයි මේ තොරතුරු හුවමාරු කිරීම වෙනුවෙන් විශේෂ අවධානය යොමු කළේ.

සුමන්තිරන් මහතා – බුද්ධි අංශ තොරතුරු නිවැරදි ලෙස වාර්තා වුණාද?

පිළිතුර-රාජ්‍ය බුද්ධි අංශය තුළ තොරතුරු නිවැරැදි ලෙස වාර්තාවීමේ ක්‍රමවේදයක් තිබුණා.

රාවුෆ් හකීම් මහතා – අත්අඩංගුවේ සිටි පුද්ගලයෙක් බේරාගැනීමට පැමිණි පුද්ගලයකුට මේ රටේ නීතියේ කිසිදු වැඩක් නොමැති බවත් අයිඑස්අයිඑස් සංවිධානය රට තුළ ක්‍රියාත්මක කළ යුතු බවට සහරාන් තර්ජනය කර ඇති බවට ඔබතුමා ප්‍රකාශ කළා. එය බරපතළ ප්‍රකාශයක්.

සාගල රත්නායක මහතා – බුද්ධි අංශ වාර්තා කරන්නේ ඉතා වගකීමෙන්.

අපේ නිලධාරින් සතිපතා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් හමුවීමට යනවා. මමත් නීතිපතිවරයාට කතා කළ අවස්ථාවක් තිබෙනවා.

ආනන්ද කුමාරසිරි මහතා – සහරාන්ගේ නම කරළියට එන්නෙ 2017 දී ඔබතුමා ව්‍යාපෘති පත්‍ර සකස් කළා. ඔබතුමා ඉවත් වූවාට පසුව එම වැඩසටහන අක්‍රීය වූවාද?

පිළිතුර – එම වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුය. මම එම අමාත්‍යාංශයෙන් ඉවත් වුණාට පස්සෙ මම අවධානය යොමු කළේ මගේ අලුත් අමාත්‍යාංශය. ඒ නිසයි මම කියන්නෙ මේ අමාත්‍යාංශය තුළ පැය 24 ම වැඩ කරන්න පුළුවන් කෙනෙක් පත්විය යුතු බවට.

සරත් ෆොන්සේකා මහතා – මෙම ඇමැති ධුරය දැරීමට ඔබතුමාට තිබෙන සුදුසුකම මොකක්ද?

පිළිතුර – මෙම විෂයට තිබෙන කැමැත්ත නිසා මම මේ විෂය පිළිබඳව අධ්‍යයනය කළා. මම නීතිඥයෙක් වෙන්න නෙවෙයි කටයුතු කළේ. මම ගොඩක් නිලධාරින්ගේ උපදෙස් ලබාගත්තා.

සරත් ෆොන්සේකා මහතා – සහරාන් පිළිබඳව ආරක්ෂක කවුන්සිලයේදී කතා කළාද?

පිළිතුර – සහරාන් පිළිබඳව ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලදී කතා කළා. 2016.11.02 න් පසුව කතා කළා.

ෆොන්සේකා මහතා – මෙම සිදුවීම් පිළිබඳ තොරතුරු විශේෂ කාර්ය බළකායට යොමුවී නැහැ. ඒ වගේම මේ පරීක්ෂණවලට ඔවුන් සම්බන්ධ කරගෙනත් නෑ.

පිළිතුර – විශේෂ කාර්ය බළකායක් අපි පිහිටුවන ලද විශේෂ ඒකකයට ඇතුළත් කළා.

ජයම්පති වික්‍රමරත්න මහතා – මා මෙය කියන්නෙ මගේ නිරීක්ෂණයක් ලෙසයි. ඒ. සී. එස්. හමීස් මහතාට නීතිය පිළිබඳ දැනුමක් තිබුණෙ නෑ. නමුත් එතුමා එය ඉතා හොඳින් කළා. ඒ වගේම නීතිය ගැන පුළුල් දැනුමක් ඇති අයටත් නැති හැකියාව ඇතමුන්ට තිබෙනවා. ඒ වගේම යම් ඇමැති ධුරයක් දැරීමට පූර්ව දැනුමක් තිබිය යුතුයි කියලා මම දකින්නේ නෑ.

පිළිතුර – මම මා ගැන පූර්විකාවක් කිරීමේ අවශ්‍යතාවක් නෑ. නමුත් මගේ කාලය තුළ ඉතා සහජීවනයෙන් කටයුතු කළා.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා – මම නීතිය හා සාමය ඇමැති කාලයේ 2018 මාර්තු මාසයේ සිට ඔක්තෝම්බර් දක්වා කටයුතු කළා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපි ආරක්ෂක කවුන්සිලයේදී කතා කළා. නැගෙනහිර පළාත ගැන එහි මුස්ලිම් පල්ලි දෙකක් ගැටුම ගැන අපි සාකච්ඡා කළා. ඇමැතිවරයා ලෙස එවකට මට දිනපතා පොලිසියෙන් තොරතුරු වාර්තාවක් ලැබෙනවා. ඒ පිළිබඳ මම අධ්‍යයනය කරලා තිබෙනවා.

2018 මැයි මාසේ අයිඑස්අයිඑස් ගැන තොරතුරු ලැබිලා තිබෙනවා. ජාතික තවුහිත් ජමාද් සංවිධානය පිළිබඳව මට තොරතුරු ලැබිලා තිබෙනවා. එහි නායකයා ගැන මට තොරතුරු ලැබිලා තිබෙනවා. අයිඑස්අයිඑස් සංවිධානය සම්බන්ධ පුද්ගලයෙක් ගැන මුලින්ම තොරතුරු වාර්තා වෙන්නේ 2015 දී. 2017 පල්ලි ගැටුමේදී සහරාන් පුද්ගලයාගේ කණ්ඩායමක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා.

ඉන්පසු විවෘත වරෙන්තුවක් අරගෙන තිබෙනවා. ත්‍රස්ත විමර්ශන අංශය යම් නියෝග අධිකරණයෙන් ලබා‍ෙගන සහරාන්ට විවෘත වරෙන්තු ලබාගෙන තිබෙනවා.

රවි කරුණානායක මහතා – යම් යම් අඩුපාඩු සිදුවෙලා මේ ප්‍රහාරය සිදුවුණා. මොනවද ඔබ දකින්නේ?

මද්දුම බණ්ඩාර මහතා – මම හිතන්නේ පූර්ණ කාලීන ඇමැතිවරයෙක්, ලේකම්වරයෙක් ජාතික ආරක්ෂාවට සිටිය යුතුයි. පාට්ටයිම් මේ කටයුතු කරන්න බෑ. බොහෝ වෙලාවට අපි රාත්‍රිය වෙනකම් මත්ද්‍රව්‍ය ගැන සාකච්ඡා පවත්වා තිබෙනවා.

රවි කරුණානායක මහතා – 2014 සිට සහරාන් ගැන තොරතුරු තිබෙනවා. කොතැනද අඩුපාඩුව‍.

මද්දුම බණ්ඩාර මහතා – සහරාන්ගේ ක්‍රියා කලාප නිසා තමයි අපි වරෙන්තුවක් ගන්න කටයුතු කළේ. නීතිපති එකෙන් නිසි උපදේශයක් නෑ කියලා තමයි නිලධාරින් මට කිව්වේ.

ආශු මාරසිංහ මහතා – අයි.සී.සී.පී.ආර්. පනත යටතේ පොලිසිය පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් කළාද?

මද්දුම බණ්ඩාර මහතා – දිගන සිද්ධියේදී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ අත්අඩංගුවට ගැනීම් කළා. පොලිසිය මඟින් කළ එම අත්අඩංගුවට ගැනීම්වලට නීතිපති උපදෙස් තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *