විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් සූර්ය පැනල මූලාකෘති නිෂ්පාදන ව්‍යාපෘතියක්

(කොළඹ, ලංකාපුවත්) –විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සූර්ය පැනල මූලාකෘති නිෂ්පාදනය සඳහා පහසුකම් සැපයීමේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අධ්‍යාපනික පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.

පස් අවුරුදු ව්‍යාපෘතියක් වන මේ සඳහා රුපියල් මිලියන 240 ක මුදලක් වැය කෙරේ. සූර්ය පැනල නිෂ්පාදනය පිළිබඳ මූලාකෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් පර්යේෂණ හා සංවර්ධන පහසුකම් සැලසීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණක් වන අතර කැලණිය, යාපනය, පේරාදෙණිය සහ රුහුණු යන විශ්වවිද්‍යාල මගින් එය ක්‍රියාත්මක කරයි. ව්‍යාපෘතිය නිම වන විට මෙම විෂය සම්බන්ධ ආචාර්ය උපාධි අටක් නිමකිරීමට ද නියමිතය.

මෙම ව්‍යාපෘතිය යටතේ සූර්ය පැනල නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම පිළිබඳව NVQ මට්ටම – 4 වෘත්තීය සුදුසුකම සමග ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 2000 පුහුණු කිරීමේ වැඩසටහනක් සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA), ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පසුගියදා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණි. මෙම විෂය සම්බන්ධ පිළිගත් සුදුසුකම් සහිත ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව තුළ නොමැතිවීමේ ගැටළුවට පිළියමක් ලෙස විධිමත් පුහුණුවක් හා පිළිගැනීමක් සහිත තාක්ෂණික ශිල්පීන් බිහිකිරීමට අවශ්‍ය පුහුණුවක් මේ යටතේ ලබාදීමට නියමිතය. විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මේ සඳහා ප්‍රතිපාදන ලබාදෙන අතර NAITA ආයතනය පුහුණු කිරීමේ කටයුතු සිදුකරනු ලබයි. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සතු හම්බන්තොට පිහිටි පුහුණු මධ්‍යස්ථානයේ උපකරණ සහ ඉඩ පහසුකම් පුහුණු වැඩසටහන සඳහා ලබාදෙමින් එම ආයතනය මෙම වැඩසටහනට දායකත්වය ලබාදීමට නියමිතය.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති නසීර් අහමඩ්, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ටී.එම්.ආර්. බන්ග්සා ජයා යන මහත්වරුන් මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

මීට අමතරව මෙම වැඩසටහන මගින් සූර්ය පැනල නිෂ්පාදනය සහ බලශක්තිය පිළිබඳ පාසල් මට්ටමේ සිසුන්ට දැනුම ලබාදීම මෙන්ම සූර්ය පැනල තාක්ෂණය යොදා ගනිමින් සරල උපකරණ ක්‍රියාත්මක කරවීම පිළිබඳ දැනුම සහ අවබෝධය ලබාදීම සහ ඔවුන් ඒ සඳහා යොමු කිරීම සිදුකෙරේ. එසේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ද ඉල්ලීම මත උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාවට සම්බන්ධ ගුරුවරුන් ද මෙම විෂය සම්බන්ධව පුහුණු කිරීමටද නියමිතය.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ නසීමා අහමඩ් මහත්මිය, මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ මහාචාර්ය සුදත් කාලිංගමුදලි මහතා ඇතුළු ව්‍යාපෘතියට සම්බන්ධ ආයතන වල නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *