එජාප ජනපති අපේක්‍ෂකයා නුදුරේ දීම

(කොළඹ, ලංකාපුවත්) – චෝදනා රැසකට අධිකරණය හමුවේ විත්තිකරුවකුව සිටින අමෙරිකානු පුරවැසි තම සහෝදරයා නව පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රටේ නීතියට පටහැනිව, ජනතාව නොමග යවමින් නම් කිරීමට ක්‍රියා කර ඇති බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පවසන අමාත්‍යවරයා එහි වැඩි දුරටත් සඳහන් කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව එහි මන්ත්‍රීධුරයක් හොබවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරමින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් පක්ෂයක් පිහිටුවාගෙන එහි නායකත්වයට පත් වූ බවයි. පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ක්‍රියාකරන මහින්ද රාජපක්ෂ රටේ නීතියේ ආදිපත්‍ය සුරකිනු ඇතැයි විශ්වාස කරන්නේ කෙසේ දැයි අමාත්‍යවරයා විමසා සිටියි.

එම නිවේදනය මෙසේය.

‘‘එක්සත් ජනතා නිදහස් සන්ධානය” නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව එහි මන්ත්‍රී ධුරයක් හොබවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ” සමාජිකත්වය දරමින්ම ‘‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ” නමින් තම සහෝදරයන් හා එක්ව නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ඊයේ දිනයේදී එහි නායකත්වයට පත්විය. පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මෙලෙස ක්‍රියාකරන මහින්ද රාජපක්ෂ රටේ නීතියේ ආදිපත්‍ය සුරකිනු ඇතැයි කෙලෙස විශ්වාස කරමුද? එසේම චෝදනා රැසකට අධිකරණය හමුවේ විත්තිකරුවකුව සිටින ඇමරිකානු පුරවැසි තම සහෝදරයාව නව පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රටෙහි නීතියට පටහැනිව, ජනතාව නොමග යවමින් නම් කිරිමටද ක්‍රියා කර ඇත.

ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂයක් වන “එක්සත් ජාතික පක්ෂය” තම ජනාධිපති අපේක්ෂකයාව නුදුරේදීම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් තෝරා පත්කර ගෙන ජනතාව හමුවේ ප්‍රකාශයට පත් කිරිමට සියලු කටයුතු සූදානම් කර ඇත. පක්ෂයේ එකඟත්වයෙන් යුතුව එම කටයුතු නුදුරු දිනකදීම සිදු කෙරේ.

අප විසින් ඉදිරිපත් කරනු ලබන්නේ අප මාතෘභූමියට ආදරය කරන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකි. එසේම අප පක්ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කිසි විටෙකත් අධිකරණය හමුවේ හෝ ජනතාව ඉදිරියේ චෝදනා ලැබූවෙකු නොවනු ඇත. අප පක්ෂයක් වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ රටේ සියලු පුරවැසියන්ට එකසේ ගෞරව කරන, සියලු ආගම් සහ ජාතීන් පිළිගන්නා නායකයෙකි. ඔහු රටේ ජාතික ආරක්ෂාව තහවුරු කල හැකි පෞර්ෂයකින් හෙබි පුද්ගලයකු වනු ඇත. අපගේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා අනාගත පරපුර නව ලෝකයට ගෙන යා හැකි, දුප්පතාගේ දුක හදුනන, උගත් පුද්ගලයකු වන අතර, රටේ නීතියට ගරු කරන එය නොබිදින පුද්ගලයෙකු වනු ඇතැයි ප්‍රකාශ කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *