යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 8.5ක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව තුළ සාමය සහ ස්ථාවාරත්වය ගොඩනැංවීම සදහා ගෙනයන වැඩපිළිවෙලට සහයෝගය පල කිරීම සඳහා යුරෝපා සංගමය විසින් යුරෝ මිලියන 8.5ක මුදලක් වෙන් කර ඇත.

ශ්‍රී ලංකාව තුළ ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීම, ප්‍රජා ප්‍රතිරෝධය ගොඩනැගීම, අභ්‍යන්තර අවතැන්වූවන් සහ සරණාගතයින්ට නැවත සිය භූමි වෙත පැමිණීමට අවශ්‍ය දායකත්වය ලබාදීම යන ක්‍රියාමාර්ග සඳහා මෙම ආධාර ලබාදීමට තීරණය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය සදහන් කරනුයේ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ යුරෝපා සංගයේ උප සභාපති ෆෙඩ්රිකා මොගෙරනී අතර මේ මස මුල පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම ආධාර මුදල ලබාදීමට තීරණය කර ඇති බවය. තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ආසියාන් කලාපීය සංසද හමුව අතරතුර අදාළ සකච්ඡා පවත්වා තිබුනි.

පාස්කු ඉරුදින ප්‍රහාරය වැනි ත්‍රස්ත ප්‍රහාරය වැලැක්වීම සහ අදාළ ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සහන සැලසීම වැනි අභියෝගවලට ශ්‍රී ලංකාව මුහණ දී සිටින බව යුරෝපා සංගමය පවසයි. වසර ගණනාවක ගැටුම්වලින් පසු කල් පවත්නා සාමයට මාරුවීමේ ශ්‍රී ලංකාවට තවත් අභියෝග රාශියක් පවතින බව සදහන් කෙරේ.

එමනිසා කොමිෂන් සභාව විසින් යුරෝ මිලියන 8.5ක මුදලක් මූලික අරමුණු 03ක් යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන්ය.

ත්‍රස්තවාදී තර්ජන හා ප්‍රහාර වැළැක්වීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සම්පාදකයින්ට නිසි බලධාරීන්ට ආරක්ෂක සහ අධිකරණ අංශවලට සහය පල කිරීම එහි මූලික අරමුණ වී ඇත.

ඊට අමතරව ප්‍රචණ්ඩ අන්තවාදය වැලැක්වීම කෙරෙහි ගෝලීය සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සමග හවුල්කාරීත්වය තුළින් ධනාත්මක දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහ ශ්‍රී ලංකාවේ උතුරු දිස්ත්‍රික් තුනෙහි බිම් බෝම්බ ඉවත් කිරීමේ අවසාන අදියර සදහා සහය පල කිරීම මෙම අධාර මුදලේ අරමුණ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *