අමරපුර සහ රාමඤ්ඤ නිකායන් අද සමගි සම්මුතියකට

(කොළඹ, ලංකාපුවත්) –බෞද්ධ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝ නිකායන් 02 ක් අද (16) සමගි සම්මුතියකට එලඹේ. ඒ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසිනි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය වෙනුවෙන් එහි උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් එහි මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් ද මීට අදාළ ව්‍යවස්ථාවට අත්සන් තැබිමට නියමිතය.

මෙම නව සමගි සම්මුතිය නිසා ශාසනික මෙහෙවර වඩා ශක්තිමත්ව සිදු කිරීමට භික්ෂූන් වහන්සේට හැකි වනු ඇත.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අතර මෙම නව සමගි සම්මුතියට අත්සන් තැබීම අද දහවල් 02. 30 ට කොළඹ පදනම් ආයතනයේදී සිදු කෙරේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මෙලෙස සමගි සම්මුතියට එළඹීම සමස්ත සමාජය තුළ සාමය හා සංහිඳියාව ඇති කිරීම සඳහාත්, බෞද්ධ පුනරුදයේ නව ගමනක ඇරඹුම සඳහාත් පිටුබලයක් වන බවයි.

මෙම නිකායන් දෙකේම භික්ෂූන් වහන්සේ ථේරවාදී ශාසන සම්ප්‍රදාය ආරක්ෂා කර ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රශංසාත්මක දායකත්වයක් ලබා දුන් බව ද අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් සිහිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × two =