ඓතිහාසික ඇසළ මහා පෙරහැර මංගල්‍යය සාර්ථක ව නිම කළ බවට සංදේශය ජනපතිට පිළිගන්වයි

(කොළඹ, ලංකාපුවත්) – ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පූජනීයත්වයට පාත්‍ර වූ ශ්‍රී ලංකා රාජ්‍යත්වයේ මුදුන් මල්කඩ ලෙස සලකන මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා නොකඩවා පවත්වන වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍ය පෞරාණික චාරිත්‍රවලට ගරුකරමින් මෙවර ද සාර්ථක ව පවත්වා අවසන් කළ බවට සංදේශය, සාම්ප්‍රදායානුකූල ව දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මහතා විසින් ඊයේ(15) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුළු සතර මහ දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන්ව ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස දී ජනාධිපතිතුමා විසින් පිළිගනු ලැබීය.

අනතුරුව දියවඩන නිලමේවරයා විසින් සාම්ප්‍රදායානුකූල ව සංදේශය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

මෙම අවස්ථාව ඇමතුූ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේ අපගේ අභිමානවත් සංස්කෘතියේ ප්‍රධානතම අංගය වූ මෙම ඓතිහාසික මහා සංස්කෘතික මංගල්‍යය මෙරට සිරිත් විරිත් විදහා දක්වන අධ්‍යාත්මික පූජාවක් ද බවයි.

මෙවර ද පෙරහැර මංගල්‍යය සාර්ථක කර ගැනීම වෙනුවෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදෙමින් කටයුතු කළ බව සඳහන් කළ ජනාධිපතිතුමා කියා සිටියේ ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද තම උපදෙස් පරිදි දියත් කළ බවයි.

රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් ව තහවුරු කර සියලු ජන කොටස් අතර සාමය ද ස්ථාපිත කර ඇති මේ මොහොතේ ජාතික ආරක්ෂාව දුර්වල වී ඇති බවට ආණ්ඩුවේ ම ඇතැමුන් සිදු කරන ප්‍රකාශ පිළිබඳව ද මෙහි දී කනගාටුව පළ කළ ජනාධිපතිතුමා කියා සිටියේ පටු දේශපාලන වාසි තකා රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ අවිනීත ප්‍රකාශ සහ අනවශ්‍ය විවේචන සිදු නොකරන ලෙස තමා එම සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

මේ හේතුවෙන් ජනතාව තුළ අනවශ්‍ය බියක් හා සැකයක් ගොඩනැගෙන අතර එය රටේ සංවර්ධනය ඇතුළු සියලු කටයුතුවලට බාධාවක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා පටු දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් රට අරාජික කිරීමට කිසිවෙකු උත්සාහ නොකළ යුතු බව ද කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අප්‍රේල් 21 සිදුවීමෙන් පසුව රටේ ජාතික ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීමට රජය සහ ආරක්ෂක අංශ එක්ව විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවූ බවත්, ලොව අන් රටවල අත්දැකීම් සමග සසදන විට යළිත් එවන් ත්‍රස්ත සිදුවීමකට ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු නොවූයේ එම වැඩපිළිවෙළ හේතුවෙන් බවත් ය.

ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ආරක්ෂාව තහවුරු කිරීමට දුෂ්කරතා මධ්‍යයේ කැපවූ ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ සියලු ආරක්ෂක අංශ වෙත කෘතවේදිත්වය පළ කිරීමට ද ජනාධිපතිතුමා කටයුතු කළේය.

පෙරහැරට සහභාගී වූ කලාශිල්පීන් වෙත සාම්ප්‍රදායානුකූල ව තිළිණ හා සම්මාන පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
සතර මහා දේවාල සහ පිටිසර දේවාලවල සංරක්ෂණ කටයුතු සඳහා මුල්‍යාධාර පිරිනැමුණේ ද ජනාධිපතිතුමා අතිනි.
“පූජනීය දළදා සංස්කෘතිය” ග්‍රන්ථය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

“සිංදු” ඇත් පැටවා වෙත පළතුරු සංග්‍රහයක් සිදු කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

අනතුරුව චිරාගත සම්ප්‍රදායානුකූලව ජනාධිපතිතුමා ඇතුළු නිලමේවරුන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

ජයන්ති සිරිසේන මැතිනිය ද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *