පාස්කු ප්‍රහරයෙන් පසු ආරක්ෂාවට ගත් ක්‍රියාමාර්ගයට එක්සත් ජාතින්ගේ ප්‍රසාදය

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා දිනයේ සිදුවීම්වලින් අනතුරුව රැකවරණය පතන්නන් සහ සරණාගතයන්ගේ රැකවරණය හා ආරක්ෂාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව ක්‍රියාකරනු ලැබූ ආකාරය එක්සත් ජාතීන්ගේ ප්‍රසාදයට ලක් වෙයි.

සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ විශ්වාසයක් දැරීමේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත, අහමඩ් සහීඩ් මහතා සිය සංචාරය අතරතුර විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඇමැති තිලක් මාරපන මහතා හමුවී සාකච්ඡා කරන ලද අතර එහිදී මේ බව අනාවරණය විය.

2015 වසරේ දී එක්සත් ජාතීන්ගේ සියලු තේමාත්මක විශේෂ ක්‍රියා පරිපාටි පිළිබඳ බලය දරන්නන් වෙත ශ්‍රී ලංකා රජය කරන ලද ස්ථාවර ආරාධනයට ප්‍රතිචාර වශයෙන් විශේෂ නියෝජිත සහීඩ් මහතාගේ සංචාරය සිදුව තිබෙන අතර පසුගිය සිවු වසරක කාලය තුළ විශේෂ ක්‍රියා පරිපාටි පිළිබඳ බලය දරන්නකු ශ්‍රී ලංකාවේ දී කරන ලද දස වැනි සංචාරය මෙය බවද 2018 වසරේ දී මෙම සංචාරය පැවැත්වීම සඳහා විශේෂ නියෝජිත සහ ශ්‍රී ලංකා රජය එකඟත්වයට පැමිණ තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ විවෘත, විනිවිද භාවයකින් යුතු සහ සාධනීය සංවාදයක නියැලීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව විශේෂ ක්‍රියා පරිපාටි පිළිබඳ බලය දරන්නන් ගණනාවකගේ සංචාර සඳහා පහසුකම් සලසා ඇති බව විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතා මෙහිදී ප්‍රකාශ කළ අතර විශේෂ නියෝජිතයන් හා සම්බන්ධ වීම සහ ඔවුන්ගේ ප්‍රතිචාර ධනාත්මකව පිළිගැනීම ආණ්ඩුව නිරන්තරයෙන් අගය කළ කරුණක් බව හෙතෙම සඳහන් කෙළේය. විශේෂ නියෝජිතවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ශ්‍රී ලංකා රජයේ පූර්ණ සහයෝගය දක්වන බවට ඒ මහතා සහතික විය.

විශේෂ නියෝජිත සහීඩ් මහතා රජයේ ආරාධනය පිළිබඳ ස්තූතිය පළ කරමින් පාස්කු ඉරිදා සිදුවීමෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ පෑ දුෂ්කරතා සහ සංවේදී අවස්ථා පිළිගත් අතර විශේෂයෙන්ම, 2019 අප්‍රේල් මස 21 වැනි දා සිදුවීම්වලින් අනතුරුව රැකවරණය පතන්නන් සහ සරණාගතයන්ගේ රැකවරණය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ආණඩුව ක්‍රියා කරනු ලැබූ ආකාරය ඔහුගේ ප්‍රශංසාවට ලක්විය.

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රාජ්‍ය නිලධාරීන්ගේ රැස්වීමකට මේ විශේෂ නියෝජිතවරයා සහභාගී වූ අතර ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය, සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය, ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය හා හානි පූරණය සඳහා වන කාර්යාලය ඇතුළු රජයේ නියෝජිතායතන ගණනාවක් සහභාගී විය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංවර්ධනය යළි ස්ථාපිත කැර ගැනීමේ දී සියලු ජනතාවගේ රැකවරණය සහ ආරක්ෂාව තහවුරු කිරීම සහ පැවැති කලබලකාරී අවස්ථාව යථා තත්ත්වයට පත්කිරීම සඳහා ආණ්ඩුව සතු වූ ශක්‍යතාව රජයේ පාර්ශ්වකරුවන්ගේ රැස්වීමේ දී විදේශ ලේකම් ආර්යසිංහ මහතා සඳහන් කෙළේය. මූලධර්මවාදී අදහස් හරණය සහ අන්තවාදී ගැටලු පිළිබඳ කටයුතු කිරීමේ දී සහ යම් ආගමක් ඇදහීමේ හෝ විශ්වාසයක් දැරීමේ නිදහස ආරක්ෂා කැර ගැනීමේ දී ඇතිවන ගැටලු කළමනාකරණය කැර ගැනීමේ දී සෙසු රටවල් අනුගමනය කළ ක්‍රියාමාර්ග සහ විශේෂ නියෝජිත ලැබූ අද්දැකීම් මඟින් අවබෝධයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව දැඩි උත්සහයක් දක්වන බව එම මහතා තවදුරටත් ප්‍රකාශ කෙළේය.

විශේෂ නියෝජිතවරයා උතුරු, නැඟෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිත අතර ඔහුගේ මෙම සංචාරය අතරතුර දී ආගමික ප්‍රධානීන් කිහිපදෙනකු සහ සිවිල් සමාජ නියෝජිතයන් මෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාව ද හමුවීමට නියමිතය. මෙම සංචාරය අවසානයේ දී, 2019 අගෝසතු 26 වැනි දින රජයේ පාර්ශ්වකරුවන් වෙත කරුණු දැක්වීමේ රැස්වීමක් පවත්වනු ඇති අතර විශේෂ නියෝජිතවරයා ශ්‍රී ලංකාව තුළ සිදු කළ සංචාරයේ වාර්තාව 2020 මාර්තු මස මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − one =