පුරවැසියන්ට තුවක්කු පත්තු නොවූ යුගය ගැන ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) –ආණ්ඩුවේ තුවක්කුවක් රටේ කිසිදු පුරවැසියෙකුට පත්තු නොවූ එකම යුගය තම පාලන කාලය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමින් ජනාධිපතිතුමා ඊයේ(18) මෙම අදහස් පළ කළේය.

සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන යටතේ දිඹුලාගල සොරිවිල කොටාරාගල , දිසාලාගම සහ දිඹුලාගල දලුකාන යන ප්‍රදේශවල ඉදිකළ නව ගම්මාන 3ක් ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරුණි.

ආදිවාසී දිනයට සමගාමීව ජනාධිපතිතුමාගේ මඟ පෙන්විමෙන් මෙම ආදිවාසීන්ගෙන් පැවත එන නව පරපුරේ නිවාස ලාභීන්ගේ අපේක්‍ෂාවන් ඉටු කරමින් ඉදි කළ සොරිවිල කොටාරාගල ආදර්ශ ගම්මානය නව නිවාස 16 කින් සමන්විත වේ. මූලික පහසුකම් පවා නොමැතිව සිය ජීවිත ගෙන ගිය කොටාරාගල ගම්වැසියන්ට සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනේ දායකත්වයෙන් වසර දෙකක් වැනි කෙටි කාලයකදී නව නිවාස ඉදිකර දීම විශේෂත්වයකි. දලුකාන ජීවහත්තගම නව ගම්මානය නිවාස 27 කින් සමන්විතය. ඒ ආසන්නයේ ඉදිකර ඇති දිසාලාගම නව නිවාස 23 කින් සමන්විත වේ.

නිවාස ව්‍යාපෘති ජනතා අයිතියට පත් කළ ජනාධිපතිතුමා අනතුරුව පැවති උත්සවයේදී නිවාස ලාභීන් වෙත යතුරු ප්‍රදානය ද සිදු කළේය. එහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්‍ෂකයෙකු ඉදිරිපත් වුව ද මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමට කැපවන බවට ඔහු ජනතාවට ප්‍රතිඥා දිය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *